වකුගඩු රෝගයකින් පෙළෙන පුංචි ආකාශ්ගේ දුක්බර කතාව

  👤  3415 readers have read this article !
By mawbima 2017-11-15

කැකිරාව කුඹුක්වැව නිමල්සිරි විද්‍යාලයෙන් මෙවර පස්වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් මහා කැකිරාවේ ඇළ පාර ප්‍රදේශයේ පදිංචි අයෝද්‍ය ආකාශ් දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 174ක් ලබාගෙන ලබා සමත්ව සිටී.
මේ පුංචි ආකාශ් අවුරුදු තුනක සිට බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටියි. මවුපියන් පවසන පරිදි මේ දරුවා මුත්‍රා සමඟ සිරුරේ ප්‍රෝටීන් පිටවන වකුගඩු රෝගයකින් පෙළේ.

පාසලට වඩා පුංචි ආකාශ් ඉගෙනීම් කටයුතු කළේ පේරාදෙණිය - දඹුල්ල ආදී රෝහල්වලදීය. ඉන්ජිනේරුවකු වීම සඳහා සිහින දකින පුංචි ආකාශ්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරදීමට කුලී වැඩ කරන පියාටත් මවටත් නොහැකි වී තිබේ.

වසර තුනක සිට ඔවුන් හම්බ කරපු සියල්ල ආකාශ්ගේ ජීවිතය බේරාගැනීම සඳහා වියදම් කොට හමාරය. මේ දක්ෂ දරුවා අනුරාධපුර ජාතික පාසලට ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. ආකාශ් ගමේ පිහිටි කුඹුක්වැව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබාගැනීමට ගියේ කැඩුණු සපත්තු දෙක වසා ගෙනය. ඉරීගිය මේස් දෙක වසා ගෙනය. එහෙත් නගරයට පුංචි ආකාශ්ට මේ ආකාරයෙන් යෑමට නොහැකිය. මවුපියන්ද මේ වන විට ආකාශ්ගේ බලාපොරොත්තුව ඉටුකර දීමට නොහැකිව ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.
ආකාශ්ට වැඩිමහල් සහෝදරයෙක් සිටී. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිට මේ වන විට කැකිරාව නගරයේ වෙළෙඳසල් සේවයකු ලෙස සේවය කරයි. ආකාශ්ට තවමත් පාසල් නොයන පුංචි නැඟණියක් සිටින්නීය. ඔහුගේ පියා කුලී වැඩක් කරමින් පවුල ජීවත් කරවයි. හරිහමන් ආහාරයක්වත් නැතුව කුඩා පැලක මෙම පවුලේ අය ඉතා දුක්බරව ජීවත් වෙද්දී නිවාස සංවර්ධන අධිකාරියේ කැකිරාව ප්‍රාදේශීය භාර නිලධාරියා රුපියල් ලක්ෂ එකහමාරට නිවාස ආධාරයක් ලබා දීමෙන් කුඩා කාමර දෙකක් ඉදිකර ගැනීමට හැකිවී තිබේ. එම වාසනාව උදාවී ඇත්තේ පුංචි ආකාශ් අධ්‍යාපනය ලබන ආකාරයත් ඔහු විඳින දුක පිළිබඳවත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරිවරයාගේ නෙත ගැටීම නිසාවෙනි.
කුඹුක්වැව විමලසිරි විද්‍යාලයේ 5 වසර දක්වා පමණක් පන්ති පැවැත්වෙන ප්‍රාථමික විදුහලකි. ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු 174ක් ලබාගත් ආකාශ් පුතා තමන්ට අනුරාධපුර ජාතික පාසලට යෑම ස¼දහා අවශ්‍ය පහසුකම් ටික ලබාදෙන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටී.

වසර ගණනාවක් තිස්සේ පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන ඔහු තවමත් මාසිකව එහි යා යුතුව තිබේ. එහෙත් මේ දිනවල ප්‍රතිකාර ගන්න යෑමට ගමන් වියදම් පවා සොයා ගත නොහැකි තත්ත්වයට අසරණ වී සිටින බව ආකාශ්ගේ මව කේ. නිලන්ති හේරත් මහත්මිය අප සමඟ පැවැසුවාය.
ආකාශ්ගේ පියා ඩී.එම්.එම්. රූපසිංහ මහතා කියා සිටියේ පුතා නිසා පසුගිය කාලයේ තමන්ට ද කුලී වැඩක් හෝ කරගැනීමට හැකියාවක් නොලැබුණු බවය. ආකාශ් සමඟ මව රෝහල් ගතවී සිටින නිසා පුංචි දියණියත් ලොකු පුතාත් බලාගෙන තමන්ට නිවෙසට වී සිටීමට සිදුවූ බවය. කෙසේ වෙතත් මේ වන විට හතර වටේ ණයකරුවන් දිනපතා නිවෙසට පැමිණ කරදර කරන බවද රූපසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පුංචි ආකාශ් එකවරම මීට වසර තුනකට ඉහතදී මෙම දරුණු රෝගයට ගොදුරු වූ බවත් දීර්ඝ කාලයක් ප්‍රතිකාර තුළින් ආකාශ්ට සුවය ලබාගැනීමට හැකියාව තිබෙන බව වෛද්‍යවරුන් තමන් සමඟ පැවැසූ බවද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම මසකට අවස්ථා කිහිපයක් පුංචි ආකාශ්ගේ මුත්‍රා, රුධිර පරීක්ෂා කිරීම සඳහා විශාල මුදලක් වියදම් වන බවද රූපසිංහ මහතා අප සමඟ පැවැසීය.
පුංචි ආකාශ්ට හැකි පමණින් උදව්වක් කිරීමට හැකියාවක් ඇත්නම් ඔවුන්ගේ දුරකතන අංකය 0710467647 හරහා විස්තර ලබාගත හැකිය. ලිපිනය මහා කැකිරාව, ඇළ පාර, කැකිරාව. ගිණුම් අංකය ලංකා බැංකුව කැකිරාව 3793426 වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්