නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන්ගේ යුතුකම ජනතාවට සේවය කිරීමයි

  👤  3360 readers have read this article !
By mawbima 2017-11-15

උදයන්ති මුණසිංහ

නිදහස් අධ්‍යාපනය ලැබූ වෛද්‍යවරුන්ගේ පරම යුතුකම වන්නේ ජනතාවට සේවය කිරීම හා එය අකුරටම සිදු කිරීම බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ නව පරිපාලන ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පෙරේදා (13දා) සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කෙළේය.
ජාතික අක්ෂි රෝහල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පියවර ගෙන තිබෙන බවත් වසර 2020 වන විට එම සංවර්ධන වැඩසටහන් අවසන් කිරීම තම බලාපොරොත්තුව බවත් ඔහු සඳහන් කළේය.

අක්ෂි කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක බැවින් අඩුපාඩු මධ්‍යයේ හෝ දුප්පත් රෝගීන්ට අක්ෂි කාච නොමිලේ ලබාදීමට වෛද්‍යවරුන් ගන්නා උත්සාහය තමා අගය කරන බවත් හෙතෙම පැවැසුවේය.
විෂන් 2020 වැඩසටහනද මේ වන විට ජාතික අක්ෂි රෝහලට පවරා තිබෙන බැවින් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ, අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි වෛද්‍ය මධුවන්ති දිසානායක ඇතුළු වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්