සෙවණගල සීනි කම්හල ආපසු ලැබෙනවාට වඩා වන්දි මුදල ලැබෙනවා නම් හොඳයි

  👤  3406 readers have read this article !
By mawbima 2017-11-15

ත්‍යාගා ශ්‍රී මාලි, ජේ.ටී. ද සිල්වා,
දයා පෙරේරා


මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී පනතක් මඟින් රජයට පවරාගත් සෙවණගල සීනි සමාගම නැවත තමා වෙත ලැබෙනවාට වඩා ඒ සඳහා ලැබෙන වන්දි මුදල ලබාගැනීමට තමන් වඩාත්ම කැමැති බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ ප්‍රකාශ කරයි.
2011 අංක 43 දරන උෟන ක්‍රියාකාරි ව්‍යවසායන් හෝ උෟන උපයෝජන වත්කම් පුනරුදය කිරීමේ පනත අවලංගු කිරීමෙන් අනතුරුව තමා හට යළි සෙවණගල සීනි සමාගම හිමිවන්නේ දැයි 'මව්බිම' කළ විමසුමකදී ඒ මහතා එසේ කීය.
වර්තමානයේදී පිටරටින් පැමිණෙන ආයෝජකයන්ට මෙම පනත හේතුවෙන් විශ්වාසය කඩවී ඇති බවද ඒ හේතුවෙන් මෙම පනත සංශෝධනය කළ යුතු බව තමා විශ්වාස කරන බවද ඔහු පවසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ විනාශ කර කුණු ගොඩක් කළ සෙවණගල සීනි සමාගමේ අයිතිය තමා හට දෙනවාද නැද්ද යන්න තවම නොදන්නා බවත් එය තමා හට ලබා දෙනවාට වඩා, තමාට වන්දි මුදල ලබාදීමට කටයුතු කරනවා නම් තමා කැමැති බව ඔහු ප්‍රකාශ කරයි.

උසාවි නියෝගය අනුව පනත අහෝසි කළත් නැතත් මට මගේ වන්දි මුදල ලැබිය යුතුයි. ඒ හේතුවෙන් සමාගම නැවත ලැබුණද නැති වුවද තමාට ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා පවසා සිටියේය. මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති අය - වැය විවාදය අතරතුර ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ "සෙවණගල සිද්ධිය පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තියක්. එයට අපිට එකඟ වෙන්න බැහැ. මම මුදල් අමාත්‍යවරයාගෙනුත් ගිහින් ඒ පිළිබඳව විමසුවා. රජය සතුව තිබුණ සෙවණගල හෝ වෙනත් කිසිදු සමාගමක් එක් පුද්ගලයකුට දීමට බැහැ. අණපනත්වල මොනවා තිබුණත් ඒ වාගේ ආයතන නැවත ලබාදීමට අපි එකඟ වෙන්නේ නෑ" කියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්