නීල-හරිත අයවැයේ සැඟවුණු යෝජනා තිබෙනවා

  👤  3341 readers have read this article !
By mawbima 2017-11-15

ජාතික ආණ්ඩුවේ ලිබරල් ප්‍රතිපත්තියට ගැළපෙන පරිදි අණපනත් සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක කියයි.
පවතින අණපනත් යල් පැන ඇති බව පෙන්වා දෙමින් මුදල් අමාත්‍යවරයා මෙවර අය-වැය හරහා රේගු, සාප්පු කාර්යාල, කුඹුරු හා අධ්‍යාපන ආඥා පනත ඇතුළු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට සූදානම් බව මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

බිමල් රත්නායක මහතා පවසන්නේ මෙවර අයවැයෙන් මාධ්‍යට ඉදිරිපත් කළ කරුණුවලට ඔබ්බෙන් ගිය කරුණු රාශියක් ක්‍රියාවට නැංවීමේ යටි අරමුණක ආණ්ඩුව සිටින බවත් දැනට ඉදිරිපත් කර ඇති යෝජනාවලින් 40%ක් වත් ක්‍රියාත්මක නොවන බවත්ය.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ අමනෝඥයන් විසින් මෙම පනත් සම්මත කිරීමට අත ඉස්සුවද පක්‍ෂයක් ලෙස එය මහ මඟදී පරාජයට පත් කරන බව ඔහු පැවැසුවේ ඊයේ (14දා) පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ඒ මහතා මෙසේ කීය.
අපේ රටේ රේගු පනත කියන්නේ රට වටේ හදලා තියෙන ආරක්‍ෂක වැටක්. රේගුවේ පරීක්‍ෂණවලින් තොරව භාණ්ඩ ගෙන්වීම බරපතළ තත්ත්වයක්. දැනටමත් ලංකාවේ ප්‍රධාන සමාගම් 47ක ආනයන භාණ්ඩ පරීක්‍ෂණයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. රේගුව කටයුතු කළ යුතු වන්නේ නීත්‍යනුකූල වෙළෙ¼දාම දිරිගැන්වීමටයි. නමුත් ආණ්ඩුව ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් විදිහට රේගු පනත වෙනස් කරන්න හදනවා.
රේගු පනත සංශෝධනයට එරෙහිව වෙන වෘත්තීය සමිතිවලට රේගු නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව වැරදි මත හදනවා. ආණ්ඩුව කියන්නේ රේගු නිලධාරීන් ලබන තෑගි ප්‍රමාණය ආණ්ඩුවට ලැබෙන ආදායමට වඩා වැඩියි කියලා. නමුත් ඇත්ත කතාව වන්නේ රේගු නිලධාරීන් නීති විරෝධීව ගේන භාණ්ඩ අත්අඩංගුවට අරගෙන ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් ප්‍රතිශතයක් තෑගි ලෙස ලබා ගැනීමයි. එසේ කළ යුතු වන්නේ රේගු නිලධාරීන් ඔත්තුකරුවන් නඩත්තු කරන නිසයි. රේගු නිලධාරීන්ට තෑගි දීම ආණ්ඩුවට ආදායම් අහිමිවීමක් නොවෙයි. රේගු වැටලීම් නිසා ආනයනකරුවන්ට නීත්‍යනුකූල භාණ්ඩ ගෙන්වීමට බලපෑමක් වෙනවා. රට වටේ තිබෙන ආරක්‍ෂණ වැට බිඳින්නයි ආණ්ඩුව මේ හදන්නේ.

ඒ වගේම 1939 ගෙනාපු අධ්‍යාපන ආඥා පනතින් ලංකාවේ පාසල්වල මුදල් අය කිරීම තහනම් කිරීම, පාසල් පවත්වාගෙන යෑම රජය සතු වගකීමක් බවට පත් කිරීම, පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට වැට බැඳීම සිදුකොට තිබෙනවා. එය ප්‍රගතිශීලී පනතක්. ඒක වෙනස් කරන්න ආණ්ඩුව හදනවා.

අපි ආණ්ඩුවට අභියෝග කරනවා ජාත්‍යන්තර පාසල්වල ගුරු මණ්ඩලයේ ඉන්න උපාධිධාරීන් ප්‍රමාණය හෙළිදරව් කරන්න කියලා. මම ඉතාම වගකීමෙන් කියනවා මේ ආණ්ඩුව කරන්න යන්නේ විදේශිකයන්ට සින්නක්කරව ඉඩම් ලබා ගන්න නීති හදලා දෙන්නයි. විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමේදී විවිධ සීමා කිරීම් තිබෙන පනතක් තමයි අපිට තිබෙන්නේ. දැනට ඉඩම් මිලදී ගැනීමේදී විදේශිකයන් සියයට සියයක බද්දකට යටත් වෙනවා.
මහින්ද රාජපක්‍ෂලා ෂැංගි්‍රලා සමාගමට ඉඩම් දුන්නේ නීතියට පිටින් ගිහින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙනයි. නමුත් මෛත්‍රි - රනිල් ආණ්ඩුව නීති හදලා විදේශිකයන්ට ඉඩම් දෙන්න යනවා.

කුඹුරු පනත මඟින් අපේ රටේ වී වගාවට අවශ්‍ය කුඹුරු ඉඩම් ප්‍රමාණය ආරක්‍ෂා කොට තිබෙනවා. ආපේ රටේ වී වගාවට තිබෙන ඉඩම් ප්‍රමාණය අහිමි වීමෙන් ආහාර සුරක්‍ෂිතතාව බිඳ වැටෙනවා. මීට කලින් එස්.බී. දිසානායකත් මේ පනත වෙනස් කරන්න යෝජනා කළා. 86 ඉඳලා ලෝක බැංකුව මේ පනත් වෙනස් කරන්න යෝජනා කරමින් ඉන්නවා. අද 115ට හාල් කිලෝ එක ගන්න සිදුවෙලා තියෙන තත්ත්වයකදීත් ආණ්ඩුව මේ පනත් වෙනස් කරන්න යනවා.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්