උතුරේ ශිවාජිලා, විගීලා වගේම දකුණේ කමල්ලා, සරත්ලාත් අන්තවාදීන්

  👤  3369 readers have read this article !
By mawbima 2017-11-15

මේ රටේ නොයෙකුත් ආගමික හා ජාතීන් අතර දැන්වත් සහයෝගයෙන් ජීවත් වෙනවාද නොඑසේ නම් තවදුරටත් කුලල්කාගෙන ගහ මරාගෙන එක් එක් අන්තවාදීන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉටුකර ගැනීමට සහාය දෙනවාද යන තීරණාත්මක මංසන්ධියට අප පිවිස ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ආයුධ බලයෙන් පාලනය කළ ලෝකය බුද්ධියෙන් පාලනය කිරීමට මිනිසා ගත් තීරණය ලෝකය ලබා ඇති දියුණුව බවත්, ඒ අනුව මේ රටේ ජාතීන් අතර යළිත් මරාගෙන මැරෙන යුද්ධයකට අවකාශ නොදී පක්ෂ ගැන නොතකා රට හා ජනතාවගේ හෙට දවස ගැන තීන්දු තීරණ ගැනීමට ලැබී ඇති මෙම අවස්ථාවෙන් උපරිම පල ලබා ගැනීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි යන තේමාව යටතේ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒකාබද්ධව ඊයේ (13දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය. 'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමක් සඳහාදැයි යන ප්‍රශ්නයට නිදහසෙන් පසු ගතවූ වසර 70ක අපේ දේශපාලන අත්දැකීම් තුළින් පිළිතුරු සපයනවා. නිදහස ලබන විට අපේ රට තිබුණේ කොතැනද. අද තිබෙන්නේ කොතැනද යන්න අප බුද්ධිමත්ව කල්පනා කළ යුතුයි. මේ ප්‍රශ්නවලට අප ප්‍රතිපත්තිමය විසඳුම් ලබාගන්නා තෙක් අපට අනාගතයක් නැහැ. නිදහස ලබන විට අප දෙවැනි වූයේ ජපානයට පමණයි. එවකට ජපානයේ ඒකපුද්ගල ආදායම ඩොලර් 89යි. අපේ ඩොලර් 88යි. සිංගප්පූරුව, මාලදිවයින, බංග්ලාදේශය, මැලේසියාව වගේ රටවල් සියල්ල හිටියේ අපට පිටුපසින්. පසුගිය කාලයේ අප ගත් වැරැදි තීන්දු තීරණ නිසා මෙසේ පසුබෑමට අප ලක්වුණා.

නිදහස ලැබූ දා පටන් අප කළේ කුමක්ද? ජාතියත් ආගමත් බේරාගැනීමේ සටනයි. වසර 71ක් ගතවෙද්දීත් තවම අපි ජාතියත් ආගමත් බේරාගන්නවා. ඇල්බට් අයින්ස්ටයින් නමැති මහා දාර්ශනිකයා දේශප්‍රේමය හඳුන්වා දී ඇත්තේ සරම්ප රෝගය මෙන් සුවකළ නොහැකි අන්තවාදී ලෙඩක් ලෙසයි. දේශප්‍රේමයෙන් අපේ ප්‍රශ්න විසඳෙනවාද? අපේ රට පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීවද නැත්නම් එක මිනිසකුට දී ඒකාධිපති පාලනයක් ඇතිකරගන්නවාද යන්න තීරණය කළ යුත්තේ ජනතාවයි.
ලෝකයේ රටවල් මුහුණ දෙන ප්‍රශ්න අනුව එක් එක් ආකාරයට විසඳුම් ලබාගන්නවා.

අපේ රටේ ආකෘතියට අනුව අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත යුතුයි. අද මේ රට පිළිබඳව මධ්‍යස්ථ මතයක් දරන විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා වැනි දේශපාලනඥයන් සමඟ මේ ප්‍රශ්නය විස¼දා නොගතහොත් අනාගතයේ එය මේ රටට මහා බරපතළ ඛේදවාචකයක් වෙන්න පුළුවන්.
1978 ජේ. ආර්. නව ව්‍යවස්ථාව ගෙන එන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියේ 8 දෙනයි.

ශ්‍රී ලනිප ඇතුළු සියලු පක්ෂ ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. නව ව්‍යවස්ථාව ජන සම්මතවාදයෙන් බැහැරව ඒකාධිපතිවාදය කරා ගමන් කරන්නක් බව බණ්ඩාරනායක මැතිනිය එඩිතරව ප්‍රකාශ කළා. එදා එතුමිය ඉතා සංවේදී ප්‍රකාශයක් කළා. ජාතික පරමාධිපත්‍ය සහිත ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ව්‍යවස්ථා මණ්ඩලයක් පත් කරන බව එතුමිය ප්‍රතිඥා දුන්නා. 1994දී චන්ද්‍රිකා මැතිනිය එදා තම මෑණියන්ගේ ප්‍රාර්ථනය හෙළිදරව් කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දුන්නා. 1978 සිට මේ රටට ශාපයක් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ඇය පැවසුවත් ඒ එකක්වත් සිදුවූයේ නැහැ. ඇන්. ඇම් එදා පොතක් ලිව්වා මේ ව්‍යවස්ථාවෙන් රට ඒකාධිපතිවාදය කරා යන ආකාරය පිළිබඳව.

වත්මන් ජනාධිපතිතුමා මන්ත්‍රිවරු 45ක් තියාගෙන දවල්ට නොකා ප්ලේන්ටි බිබී මන්ත්‍රිවරුන්ගේ කැමැත්ත වෙන වෙනම ලබාගෙන ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ බලතල තමන්ම දන් දුන්නා. එදා සරත් වීරසේකර කියන අන්තගාමියා හැර ඉතිරි 224 ම අනුමැතිය ලබාදුන්නා.

එදා බණ්ඩාරනායක අගමැතිතුමා චෙල්වනායගම් සමඟ අස්සන් කළ බණ්ඩාරනායක - චෙල්වනායගම් ගිවිසුම හරි හැටි ක්‍රියාත්මක වුණා නම් ලංකාව අද සිංගප්පූරුවක් වෙනවා. 1964 ලී ක්වාන් යූ සිංගප්පූරු අගමැතිවරයා ඒ පිළිබඳව කනස්සල්ල පළ කළා.
භික්ෂුන් වහන්සේගේ විරෝධය නිසා ගිවිසුම ඉරා දැමූ බණ්ඩාරනායක මහතා එදා ප්‍රකාශ කළේ "ඉතිහාසය විසින් මා හට සමාව දෙනු ඇත" යනුවෙනි. ඉන්පසු ඩඩ්ලි සේනානායක අගමැතිතුමා ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම ගෙන ආ වෙලාවේ ජාතිවාදීන් රට කඩන්නට යනවා කියමින් රට පුරා විරෝධතා ගෙන ගිය නිසා එයත් හකුළා ගත්තා. එදා එම ගිවිසුමට විරුද්ධ වූයේ බණ්ඩාරනායක මහතාගේ නෝනා සිරිමාවෝ මැතිනියයි. මෙහි ප්‍රතිඵලයක් වූයේ මේ රටට නායකත්වය දීමට තරම් ශක්තියක් ජවයක් තිබූ තරුණ ජීවිත රැසක් මරුවාට බිලිවීමයි.

ඉන්පසු එදා අප ඉන්දු ලංකා ගිවිසුමට හා 13 වැනි සංශෝධනයට සහාය දුන්නා. අප ඒ සඳහා හොඳ නායකත්වයක් දුන්නා. ජාතිවාදී අන්තවාදී පිරිස් එදා අපේ වේදිකාවෙන් වේදිකාවට බෝම්බ ගැහුවා. එදා අපට හොඳ නායකත්වයක් දුන්නේ විජය කුමාරතුංග සහෝදරයා. ඒ නිසා මේ සටන අවසානය දක්වා ගෙනයන්න මටත් අවශ්‍යතාවක් තියෙනවා. අප පක්ෂ ගැන නොසලකා ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයන්නේ මේ රටට ඇති ආදරය නිසයි. ඒ නිසා අපේ ජීවිත දන්දෙන්න අපි සූදානම්. මේක අපේ දරුවන්ගේ දරුවන්ගේ සටනක් දක්වා. ගෙන යන්න ඉඩ දෙන්න බැහැ. උතුරෙන් නායකයෙක් ඇවිත් අහනවා ඔය දේශප්‍රේමීන්ගේ ඇඟේ එක ගලක්වත් වැදිල තියෙනවද කියලා. ඒ අය සිංහල ජාතිවාදය වපුරන විට උතුරේ ජාතිවාදය පෝෂණය වුණා. සිවාජිලිංගම්, විග්නේශ්වරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් වැනි දෙමළ අන්තවාදියෝ සමඟ සරත් වීරසේකර, කමල් ගුණරත්න වැනි දකුණේ අන්තවාදියෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම නවත්වන්න දරන උත්සාහයට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ සමඟ අපි හොඳින් සිහි තබා ගත යුතු කරුණක් වන්නේ මෙවැනි ස්වර්ණමය අවස්ථාවක් අපට යළි නොලැබෙන බවයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්