සභාපති අපේක්‍ෂකයන් තිදෙනකුට විරෝධතා

  👤  3373 readers have read this article !
By mawbima 2017-11-15

විචිත්‍ර වීරසිංහ

එළැඹෙන නොවැම්බර් 30වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පාපැදි සම්මේලන නිලවරණයේ සභාපති අසුන වෙනුවෙන් තරග වදින 6 දෙනාගෙන් ප්‍රබල තිදෙනකුට එරෙහිව විරෝධතා මතුවී තිබීම හේතුවෙන් සභාපති තනතුර වෙනුවෙන් තරග වදින අවසන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට තවමත් නොහැකි වී තිබේ.
පාපැදි සම්මේලන නිලවරණයට අදාළ නාමයෝජනා පසුගියදා (09දා) අවසන්ව තිබූ අතර, එහිදී සභාපති අසුන වෙනුවෙන් නාමයෝජනා 6ක්ද, උප සභාපති තනතුරු 6ක් වෙනුවෙන් නාමයෝජනා 19ක්ද, ලේකම් ධුරය සඳහා නාමයෝජනා තුනක්ද, භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් නාමයෝජනා 3ක්ද, උප ලේකම් තනතුර වෙනුවෙන් නාමයෝජනා 4ක්ද ඉදිරිපත් වී තිබිණි.

ඒ අතුරින් සභාපති තනතුර වෙනුවෙන් තරග වදින වත්මන් සභාපති අමල් හර්ෂ ද සිල්වා, ජාත්‍යන්තර පාපැදි විනිසුරුවරයකු වන එන්. කරුණාරත්න, ඩබ්ලිව්.එම්.එම්. බණ්ඩාර, ජින්ටල් රත්නායක, විල්මන් පෙරේරා හා බොල්වින් පණ්ඩිතරත්න යන මහත්වරුන්ගෙන් වත්මන් සභාපති අමල් හර්ෂ ද සිල්වා මහතාට මෙන්ම එන්.කරුණාරත්න හා ඩබ්ලිව්. එම්. එම්. බණ්ඩාර යන මහත්වරුන්ට එරෙහිව විරෝධතා 15ක් මතු වී ඇත.

විරෝධතා විමර්ශනය කිරීම සඳහා ඇන්ටන් රාජා මහතාගේ සභාපතිත්වයෙන් යුත් 5 දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවට ක්‍රිෂ්මාල් වර්ණසූරිය, මනෝදර, එම්.ජී. හේමපාල යන මහත්වරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් සුභානි උඩවත්ත මහත්මියද ඇතුළත්ව සිටී.
කෙසේ වෙතත් ප්‍රබල අපේක්‍ෂකයන් තිදෙනකුට එරෙහිව මතු වී ඇති මෙම විරෝධතා විමර්ශනය කිරීමට තවමත් නොහැකි වී ඇති අතර, ඒ සඳහා තවත් දින දෙකක් පමණ කල් යා හැකි බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්