දවස් 3ට අට දෙනකු එල්ලිලා මෙහෙම වෙන්නෙ ඇයි?

  👤  3653 readers have read this article !
By mawbima 2017-11-15

වැලිගෙපළ - මැණිකේ කොළොම්බුගම,

බළන්ගොඩ - නලින්ද වලේබොඩ, කල්තොට - එස්. වීරවංශ, කොළඹ - එම්.සී. පෙරේරා, කළුතර - රූපරත්න පියදාස, වෙන්නප්පුව - ඇම්.ඩී. රවීන්ද්‍ර, ගම්පොළ - මාධව බණ්ඩාර, මාලඹේ - රාජිකා රණසිංහ,
කඩුවෙල - සුගත් ලියනගේ

පසුගිය 12 සහ 13, 14 දිනවලදී දිවයිනේ ප්‍රදේශ කීපයකදී අට දෙනකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
මේ අට දෙනාගෙන් අයෙක් පාසල් යන අට හැවිරිදි දියණියකි. තවත් දෙදෙනකු දින හතකට පෙර විවාහපත් යුවළකි. තවත් අයෙක් ලේලියට අතවර කරන්නට ගිය කපු මාමා කෙනෙකි. අතුරුගිරියේ කෝටිපති ව්‍යාපාරිකයකු ඒ අතර වෙයි.

අට හැවිරිදි දියණිය රෙදි පටියකින් නිවෙස පසුපස බාල්කයක එල්ලී මියගොස් සිටියදී පෙරේදා (13දා) පස්වරුවේ බළන්ගොඩ පොලිසිය සොයාගෙන ඇත.
හතර වසරේ ඉගෙනුම ලබන දැරිය බළන්ගොඩ - රට‍ෙදාළ ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සෞම්‍යායි. පියා හැරගොස් ඇති ඇය ජීවත් වී තිබෙන්නේ සිය මෑණියන් හා නැඟණිය සමඟය.
මේ අවාසනාවන්ත සිද්ධිය වන අවස්ථාවේ දැරියගේ මව නිවෙසේ සිට නැත. මව නිවෙසට පැමිණ දියණිය ගැන විපරම් කරද්දී ඇය නිවෙසේ බාල්කයක රෙදි පටියකින් එල්ලී මියගොස් සිටි අයුරු දැක ඇත. මෙය සියදිවි හානි කර ගැනීමක්ද වෙනත් අපරාධයක් දැයි මෙතෙක් හෙළි වී නැත.
දින හතකට ඉහතදී විවාහ වූ යුවළකගේ මළ සිරුරු මිල්ලනිය දෙවැනි අදියර නිවෙසක බාල්කයක එකම ලණුවකින් එල්ලෙමින් තිබියදී පෙරේදා (13දා) රාත්‍රි සොයා ගත් බව මිල්ලනිය පොලිසිය කියයි.

මෙලෙස මියගොස් තිබුණේ පරගස්තොට - මිල්ලනියවත්ත පදිංචිව සිටි රියැදුරු රැකියාවේ නියුතු දුරගජවිර විදානලාගේ කෝසල සචින් ෆොන්සේකා (28) සහ කිම්මන්ගුඩාව ජෝතිපුර පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් වූ කස්තුරි ආරච්චිගේ කෝසලී මහේෂිකා (19) යන අඹු සැමියන්ය.
මියගිය කෝසල සචින් ෆොන්සේකා මීට පෙර විවාහ වූ පුද්ගලයකු බවත් එම විවාහයෙන් සිටින දරුවකුට නඩත්තු ගෙවන බවටත් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ඇඟලුම් කම්හලක රැකියාව කරන මියගිය කාන්තාව මියගිය පුද්ගලයා දැනහැඳින ගෙන ඇත්තේ ඔහු විසින් පැද වූ වෑන් රථයේ රැකියාවට යන කාලය තුළදීය. කාන්තාව මවුපියන්ට හොර රහසේ මෙම පුද්ගලයා සමඟ ඉකුත් 7 වැනිදා විවාහ වී ඇති අතර එම විවාහයට අස්සන් තබා ඇත්තේ මියගිය පුද්ගලයාගේ මව බවද පොලිසිය කියයි.
මියගිය පුද්ගලයාගේ මිතුරකු ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුම් රැසක් ලබාගෙන ප්‍රතිචාරයක් නොවීම නිසා තවත් මිතුරකු හා එක්ව ඔහු පදිංචි පරගස්තොට - මිල්ලනිය වත්ත නිවෙසට යෑමේදී මියගිය පුද්ගලයාගේ යතුරුපැදිය නිවෙස ඉදිරිපස ‍ෙදාර අසල නවතා තිබෙන අයුරු දැක ඇත.
නිවෙසේ විදුලි බල්බ් දල්වා තිබීම නිසා ඉදිරිපස ‍ෙදාරට තට්ටු කළ මිතුරන් දෙදෙනා ප්‍රතිචාරයක් නොවූයෙන් විවෘත කර තිබූ ජනේලයකින් නිවෙස තුළ බැලීමේදී සිය මිතුරාගේ මෙන්ම තවත් කාන්තාවකගේ මළ සිරුරු නිවෙසේ බාල්කයේ එල්ලෙමින් තිබෙනු දැක ඒ බව මිල්ලනිය පොලිසියට දැනුම් දී තිබේ.
දෙදෙනාම මේ අයුරින් මිය යෑමට හේතුවක් කිසිවකුට පවසා නැත.

එල්ලෙමින් තිබූ කාන්තාවගේ මළ සිරුර අසල එකට සිටින සේ දමන ලද ප්ලාස්ටික් පුටු තුනක් බිම වැටී තිබූ අතර එලෙස එල්ලෙමින් තිබූ පුද්ගලයාගේ මළ සිරුර අසල ප්ලාස්ටික් පුටුවක් තිබූ බව පොලිසිය කියයි.
සිද්ධිය වූ ස්ථානයට හොරණ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර මළ සිරුරු හොරණ මූලික රෝහලේ තැන්පත් කර පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස නියෝග කළේය.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීහුද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.
පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි වී.ආර්.වී. සේනානායක, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් මත මිල්ලනිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එස්.සී. සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ සැරයන් සමරවීර (33358), අල්විස් (4611), ගමගේ (46227) මහත්වරු පරීක්ෂණ පවත්වති.
නිවෙස්වල බාල්කවල රෙදි පටිවලින් හා නයිලෝන් කඹයක් ආධාරයෙන් වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ උල්හිටියාව සහ ලුණුවිල ප්‍රදේශවල නිවාස තුනක පුද්ගලයන් තිදෙනකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.
පසුගියදා 12දා රාත්‍රි සහ 13දා මෙලෙස ගෙල වැලලාගෙන ඇත්තේ උල්හිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වර්ණකුලසූරිය සුරංග රුවන් චමිර (38), සෙබස්තියන් නිශාන් රෝහණ ප්‍රනාන්දු (47) හා ලුණුවිල රෝයල් පාක්හි පදිංචි වී සිටි මාලිම්බඩගේ රෝහණ කුමාර (40) විවාහකයන් තිදෙනෙකි.
මියගොස් ඇති දෙදෙනකු මුදල් ප්‍රශ්නයක් හේතුවෙන් ගෙල වැලලාගෙන ඇති බව ලියන ලද ලිපියක් අනුව තහවුරු වී ඇති බවත්, අනෙකා පවුල් ආරවුලක් විස¼දා ගැනීමට නොහැකිව දිවි නසා ගෙන ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය කීය.

දිවි නසා ගෙන ඇති තිදෙනාගේ මෘත ශරීර මාරවිල මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් හා හදිසි මරණ පරීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.බී. අබේරත්න මහතාගේ උපදෙසින් පොලිස් පරීක්ෂක ප්‍රසාද් ලියනගේ, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, සැරයන් පෙරේරා (57475), කොස්තාපල් බණ්ඩාර (87240), ප්‍රේමකුමාර (70055) යන නිලධාරීන් විසින් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
දේවාලය තුළ තම ලේලියට අතවර කිරීමට ගිය කපු මාමාගේ කෙරුවාව පුතාට අනාවරණය වීම නිසා ලැජ්ජාවට පත් කපුවා දේවාලය තුළම ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇත. සිද්ධිය වාර්තා වන්නේ ගම්පොළ - වත්තේහේන ප්‍රදේශයෙනි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හදමගෙදර චන්ද්‍රසිරි කුලරත්න නමැති තිදරු පියෙකි.
ගම්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි සෙනරත් යාපා, විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පො.ප. ගමගේ යන නිලධාරීන්ගේ උපදෙස් මත තුෂාර (33850) මහතාගේ සාක්ෂි මෙහෙය වීම මත උඩපළාත් හදිසි මරණ පරීක්ෂක ඊ. සුමනරත්න මහතා විසින් මරණ පරීක්ෂණය පවත්වන ලදී.
වැඩිමහල් පුතුගේ 22 හැවිරිදි බිරිය දේවාලය අතු ගා අස් කිරීමට ගිය අවස්ථාවේ කපු මාමණ්ඩිය ඇය දේවාලය තුළට ගෙන අතවර කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඇය කෑගසා ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
එම අවස්ථාවේ ඇගේ සැමියා නිවෙසේ වඩු වැඩක නිරත වී සිට ඇති අතර බිරියගේ කෑගැසීම ඇසී දේවාලය තුළට යනවිට සිය පියා තම බිරියගේ සිරුර මත සිටින අයුරු දැක පියාට පහරදී බිරියට එක් පහරක් දී බිරිය රැගෙන නිවෙසට ගිය බවද සාක්ෂිවලින් අනාවරණය විය.
පසුව මෙම යුවළ නිවෙසින් පිටව යන බව පවසා ඒ සඳහා සූදානම් වනවිට මොහුගේ පියා උඹලා යන්න එපා මම යන්නම් පවසා දේවාලය තුළට ගොස් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

අතුරුගිරිය - කහන්තොට සුඛෝපභෝගී නිවෙසක් තුළ සිවිලිමේ විදුලි පංකාවක එල්ලී තලවතුගොඩ ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාර හිමි කෝටිපති ව්‍යාපාරිකයකු මියගොස් සිටියදී ඊයේ (14දා) උදේ අතුරුගිරිය පොලිසිය මඟින් සොයා ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හෙට්ටි අප්පුහාමිලාගේ රංගජීව නමැති 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

මියගිය අය කහන්තොට නිවෙස තුළ විදුලි පංකාවක ගෙල වැලලාගෙන එල්ලී මියගොස් සිටින බවට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව තලංගම හදිසි මරණ පරීක්ෂක ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය අතුරුගිරිය පොලිසිය සමඟ එම නිවෙසට ගොස් මූලික විමර්ශන සිදු කළාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්