කොස්ගොඩ සිවු පුද්ගල ඝාතනය ගැන සැකකරු සියල්ල වමාරයි

  👤  3494 readers have read this article !
By mawbima 2017-11-15

චාමර අමරසූරිය

දකුණේ පාතාල නායක කොස්ගොඩ තාරක සහ කොස්ගොඩ සුජී අතර ඇතිව තිබෙන දීර්ඝ කාලීන ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කොස්ගොඩදී සිදු වූ සිවු පුද්ගල ඝාතනයට පැමිණි බව කියන දැනට අත්අඩංගුවේ පසුවන දේශාන් අබේසේකර නමැති අයගෙන් පැය 48ක කාලයක් ප්‍රශ්න කිරීමට බළපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසරය ලබා ගෙන තිබේ.
ඒ අනුව කොස්ගොඩ පොලිසිය සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාස මඟින් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවද උසස් පොලිස් නිලධාරියෙක් 'මව්බිම'ට පැවැසීය.
මෙම ඝාතන සිද්ධියට අදාළ වැදගත් තොරතුරු ඔහුගෙන් අනාවරණය වෙමින් පවත්නා බවද එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය.

දේශාන් අබේසේකර යනු 2017 මැයි 08 වැනි දින කළුතර, වැලිපැන්න, දියකොරඩුව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද කොස්ගොඩ ලොකු හෙවත් රුවන් චාමර අබේසේකරගේ (24) බාල සහෝදරයාය.

එම ඝාතනය කොස්ගොඩ සුජීගේ කල්ලිය විසින් සිදු කර තිබූ අතර තම අයියා ඝාතනය කළ පළිය ගැනීම සඳහා දේශාන් අබේසේකර මෙලෙස කොස්ගොඩ තාරක සමඟ එක්වී කොස්ගොඩ සුජීගේ සමීපතමයකු වූ බළපිටිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රි ජගමුණි මහින්ද ප්‍රේමරාජා ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැමිණ තිබූ බවටද හෙළි විය.
එම ඝාතනයට දේශාන් අබේසේකර පැමිණි බව ඝාතනයට ලක් වූ ජගමුණි මහින්ද ප්‍රේමරාජාගේ බිරිය විසින් හඳුනාගෙන තිබිණි.
ඒ අනුව සිදු කළ විශේෂ මෙහෙයුමකදී කොස්ගොඩ, කටුවිල ප්‍රදේශයේදී දේශාන් අබේසේකර ඉකුත් 12 වැනිදා රාත්‍රියේ කොස්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එසේම මෙම සිවු පුද්ගල ඝාතනයට කොස්ගොඩ තාරකද පැමිණ තිබූ බවත් ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවත් පොලිසිය පවසයි.
ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත කොස්ගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයසිරි සිරිමාන්න මහතාගේ මෙහෙයවීම මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්