මුදල් ගන්න බැංකුවට ගිය දෙදරු මව දවස් 22ක් තිස්සේ ආගිය අතක් නෑ

  👤  3540 readers have read this article !
By mawbima 2017-11-17

ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම

ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා අනුරාධපුර නගරයේ බැංකුවට ගොස් මුදල් රැගෙන එන බව පවසමින් සිය මිත්තණිය සමඟ නිවෙසින් පිටවූ දෙදරු මවක් අතුරුදන්ව ඇතැයි ගිරිබාව පොලිසිය සඳහන් කරයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ නො. 538, රා.ව.ඉ. යාය 03, සෝලෙපුර ලිපිනයේ පදිංචිව සිටි රාජපක්‍ෂ දුරයලාගේ නිසංසලා සඳමාලි නමැති 25 හැවිරිදි දෙදරු මවකි.

පසුගිය 26 වැනිදා මේ කාන්තාව ඇය රැකියාව කරන ආයතනයේ වැටුප් ලබා ගැනීමට බැංකු පාස්පොත සකස් කළ යුතු බව පවසා අනුරාධපුර නගරයේ බැංකුවකට සිය මිත්තණිය සමඟ ගොස් තිබේ. උදෑසන 9.30ට නිවෙස අසලින් බස් රථයට ගොඩවුණු ඇය තඹුත්තේගම නගරයෙන් සිය මිත්තණියට අවශ්‍ය බෙහෙත් සහ මුදල් රැගෙන විත් දී තමා අනුරාධපුරයට යන බව පවසා මිත්තණිය බසයකට නංවා නිවෙසට පිටත් කර එවා තිබේ.

කෙසේ හෝ එතැන් පටන් මේ දක්වා තම දියණිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් දැන ගැනීමට නොහැකිව ඇති අතර ඇය අදාළ බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඉන් පිටතට පැමිණෙන අයුරු පමණක් බැංකුවේ ඛ්ඛ්ඊඍ කැමරා පරීක්‍ෂා කිරීමේදී එහි සඳහන්ව තිබූ බව අප සමඟ තොරතුරු කියා සිටි අතුරුදන්වූ කාන්තාවගේ මව වන ශි්‍රයාණි රේණුකා මහත්මිය කියා සිටියාය.

දැනට දවස් 22ක් වෙනවා. දුව ගැන කිසිම තොරතුරක් නෑ. අපි ඉන්නේ මැරුණ නොමැරුණ ගානට. දුව එදා නිවෙසින් පිටවලා යද්දී නිවෙසේ හිටියෙ මමයි, දුවගේ පුංචි පුතයි විතරයි. එයාගේ ලොකු පුතා පාසල් ගිහින් සිටියේ. එයාගේ බෑග් එකේ කුඩයයි, ෆෝන් එකයි, පර්ස් එකයි විතරයි තිබුණේ. අම්මත් එක්කම නිවෙසින් පිටවෙලා ගියේ ගේ ළඟින් තියෙන බස් එකේ නැඟලා. ඒත් එදා සවස ගෙදර ආවේ නැති නිසා අපි ගිරිබාව පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඒත් අද වෙනතුරුත් කිසිම හෝඩුවාවක් දුව ගැන ලැබුණේ නෑ.

දුව වැඩ කෙළේ කරුවලගස්වැව ගාමන්ට් එකේ. එයා මීට වසර 4කට විතර කලින් මහත්තයාගෙන් වෙන්වෙලා ඇවිත් අපේ ගෙදර තමා නැවතිලා හිටියේ. මගෙ ගෙදර ඉඳන්ම තමා වැඩට ගියේ. දුවගේ දරුවො දෙන්නා මේ වෙද්දී ගොඩක් දුකෙන් ඉන්නේ. කෑම ටිකවත් හරියට කන්නෙ නෑ. පුංචි පුතා හැමවෙලේම අම්මා ගැන අහලා අඬද්දී මටත් වාවන්නෙ නෑ. අපි ඉල්ලා සිටින්නේ දුව ගැන මොනයම් හෝ තොරතුරක් දන්නව නම් අපිට දැනුම්දීමක් කරන්න කියලා.

අතුරුදන්වීමට ලක්වූ කාන්තාව අවසන් වරට කළු පැහැති ඩෙනිම් කලිසමක් හා රෝස පැහැති බ්ලවුසයකින් සැරසී සිටි බවද ඇයගේ මව අප සමඟ කියා සිටියාය.
ඡායාරූපයේ සඳහන් අතුරුදන්වූ කාන්තාව සම්බන්ධයෙන් කවුරුන් හෝ තොරතුරක් දන්නේ නම් 0725691670 යන අංකය ඔස්සේ ඇගේ මවුපියන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon