මව්බිම නොනිමි ගමන...

  👤  3296 readers have read this article !
By mawbima 2017-11-17

පුවත්පත් කලාවේ නව පෙරළියක් ආරම්භ කරමින් හරියටම 2011 නොවැම්බර් 18 වැනි දින එනම් මෙයට වසර 6කට පෙර "මව්බිම" පුවත්පත ‍ෙදාරට වැඩි බව අපගේ මතකයේ හොඳින් සටහන් වී තිබේ.

එම දිනය සුවිශේෂී දිනයක් සේ සටහන් වන්නට තවත් එක් හේතුවක් නම් එදිනට එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ උපන් දිනයද යෙදී තිබීමය. විය යුතු පරිද්දෙන්ම එදින "මව්බිම" මංගල කලාපය එළිදුටුවේ ජනාධිපතිවරයාට සුබ උපන් දිනයකට ආශීර්වාද කරන සුබ පැතුම් ද සමඟිනි.

චිත්තාකර්ෂණීය පිටු සැලසුම් මඟින් ප්‍රථම පුවත්පතෙන්ම පාඨකයා ඇද බැඳ තබාගන්නට සමත්වූ "මව්බිම" මේ දක්වාම එම ආකර්ෂණීයත්වය එලෙසින්ම රැකගෙන සිටිනු දිස්වේ. විශේෂයෙන් මුල් පිටුව හැඩ වැඩ ගැන්වූ සියල්ලන්ට මේ ස්තුතිය පිරිනැමිය යුත්තේ බොහොමයක් පුවත්පත්වල මුල් පිටු හැමදා ඒකාකාරී ස්වරූපයෙන් සැරසෙද්දී "මව්බිම" විවිධ විලාසිතාවලින් සැරසීම හේතුවෙනි. වෙළෙඳපොළේදී පාඨක ආකර්ෂණය දිනාගැනීමට "මව්බිම" සමත් වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ මේ කරුණය.

දිනපතා පුවත්පතක අන්තර්ගතයෙහි විවිධත්වයක් නොමැත්තේ නම් කෙතරම් ආකර්ෂණීය වුවත් මඳ කලක දී එය පාඨකයන් වෙතින් ප්‍රතික්‍ෂේප වීම නොවැළැක්විය හැකිය. සතුටට කාරණය නම් අන්තර්ගතයේ විවිධත්වය විවිධාකාරයෙන් පෝෂණය කරවීම මඟින් "මව්බිම" ඒ කඩඉමද ජයගන්නට සමත් වීමය.
සාමාන්‍ය පුවත්පත් පාඨකයාගේ සිට ඒ ඒ විෂයානුබද්ධ පාඨකයන් පවා රඳවා ගන්නටත් එම විෂයයන් කාලීනව යම් යම් වෙනස්කම්වලට භාජන කරන්නටත් "මව්බිම" දැනුවත් උත්සාහයක් දරන බව පුවත්පත බලන ඕනෑම අයකුට පැහැදිලි වනු ඇත.

සුරස, අලිමංකඩ, විදෙස් පුවත් දඩයම, සාගරයක්මැද, නින්නාද, විසංවාද ආදී වශයෙන් නම් කළ විශේෂාංගවලින් විවිධ විෂය රුචි පාඨකයන් රඳවා ගන්නා අතර පුවත්පත සමඟ එක් එක් දිනයන්හි නිකුත් කරන ආර්යා, යං, එෆ්ටී පලාපල, ශිෂ්‍යත්ව ආදී විශේෂිත ටැබ්ලොයිඩ මඟින් කාන්තාවන්, තරුණයන්, ව්‍යාපාර රිසියන්, ජේ‍යාතිෂ හිතැතියන්, පෙර ශිෂ්‍යත්ව දරුවන් ආදීන් නිරායාසයෙන් ග්‍රහණය කරගනු ලබයි.

අනෙක් අතට බටහිර, වයඹ, උඩරට, රජරට, රුහුණ, සබරගමුව, වෙල්ලස්ස ආදී අවශේෂ අතිරේකවලින් අදාළ ප්‍රදේශවල ප්‍රවෘත්ති විස්තරාත්මකව ඉදිරිපත් කිරීම මඟින් පාඨක දැනුම වර්ධනයට සුවිසාල වෙහෙසක් දැරේ.

මේ ඇතැම් ටැබ්ලොයිඩවල ඒකාකාරී ස්වරුපයක් දිස්වන්නේ එකම රටාවේ ලිපි පළවීම හේතුවෙනි. එබඳු දුර්වලකම් අකාමකා දැමීමට වහාම පියවර ගත යුත්තේ මේ වනවිට "මව්බිම" 6 වසරක් ගත කර හත්වැනි වියට පා තබන නිසාම නොවේ. භාෂාවේ නිරවද්‍යතාව උදෙසා දැනට වඩා වැඩි වෙහෙසක් දැරීම අත්‍යවශ්‍ය කාරණයක් බව බස් ‍ෙදාස් නිතොර ඇස ගැටෙන කල හැඟෙයි.

පුවත්පතක් සඳහා නිශ්චිත දේශපාලන දෘෂ්ටිවාදයක් ඇතැයි මගේ විශ්වාසයයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. එනමුත් පුවත්පතේ පක්ෂපාතීත්වය ඇඟවෙන දෘෂ්ටිවාද පුවත්පතේ අභ්‍යන්තරයෙන් එළිදකින කල ඇතැම් පාඨකයන් එම පුවත්පත ප්‍රතික්‍ෂේප කරනු නොඅනුමානය.
"මව්බිම" පුවත්පතේ ආරම්භයේ සිටම පළවූ 'ගුරු දා විග්‍රහය' නම් දේශපාලන විග්‍රහය ඇත්ත වශයෙන් අවශ්‍යම කරුණුවලින් පෝෂණය වූද බොහෝදුරට මධ්‍යස්ථභාවය රැකගත්තාවූද විග්‍රහයක් වූ බව කිවමනාය. එය ඉදිරියටද රැකගත යුතුය. කිසිවකුට හෝ කිසි පක්ෂයකට ගැති නොවූ සමබර දේශපාලන විග්‍රහයක් පාඨකයා බලාපොරොත්තු වේ. ඒ මිනිසා දේශපාලන සත්ත්වයකු වීම හේතුවෙනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon