යහපාලන ආණ්ඩුවට හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා අවශ්‍ය නැහැ

  👤  3433 readers have read this article !
By mawbima 2017-11-17

එදා රජ කාලයේ සමාජයේ උගතුන් හැටියට හිටියේ හාමුදුරුවෝ. නොයෙක් විදියේ පොත් ලීවේ, නොයෙක් විදියේ පර්යේෂණ කෙරුවෙත් හාමුදුරුවෝ. ඒ නිසා ඒ කාලයේ රජවරු මොනවා හරි ප්‍රශ්නයක් ආවහම හාමුදුරුවන්ගෙන් උපදෙස් ගත්තා. දැන් මේ යහපාලන ආණ්ඩුවට හාමුදුරුවන්ගෙන් උපදෙස් ගන්න ඕන නැහැ.
හාමුදුරුවරු නැතුවට යහපාලන ආණ්ඩුවට විද්‍යාඥයන්, විශේෂඥයන් දැන් ඕන තරම් ඉන්නවා යැයි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ.
උන්වහන්සේ එසේ පැවැසුවේ වල්ගම ශ්‍රී සද්ධාතිස්ස මහා විද්‍යාලයේ විදුහල්පති ශ්‍රාස්ත්‍රපති විදාගම කස්සප නාහිමියන් 27 වසරක කාලයක් සිදුකළ ගුරු සේවය අගයමින් එම විද්‍යාලයේදී පැවැති උපහාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි.

මෙහිදී කුටේපොළ ධම්මරතන හිමියන් සංස්කරණය කරන ලද "කසුන් ප්‍රතිභා" ශාස්ත්‍රීය ග්‍රන්ථය විදුහල්පති විදාගම කස්සප හිමි විසින් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් වෙත පිළිගැන්විණි.

විමලරතන හිමියෝ මෙසේද පැවැසූහ.
අපේ භික්ෂුන් වහන්සේගේ භූමිකාව රටේ විවිධ අය විවිධ විදියට විග්‍රහ කරනවා, විශේලේෂණය කරනවා, විචාරය කරනවා.
වැඩි හරියක් මේ රටේ මාධ්‍යවලින් පෙන්නන්නේ හාමුදුරුවන් පිළිබඳ හොඳ පින්තූරත් නෙවෙයි. හාමුදුරු කෙනෙක් යහපත් වැඩක් කරන එකට වඩා හාමුදුරු කෙනෙක් පාරෙදි පොලිස්කාරයෙක් එක්ක මොකක් හරි කථා බහ ඇති වුණොත් පොලිස්කාරයන්ටත් හාමුදුරුවන් ගහන්න යනවා කියලා එහෙම තමයි පෙන්නන්නේ.

එහෙම නැතිනම් තාප්පයකින් පැනලා දුවන්න යනවිට සිවුරු එහාට මෙහාට ගිහිල්ලා. ඒක තමයි ලෝකෙටම පෙන්නන්නේ. හාමුදුරුවන්ගේ ප්‍රතිරූපය විදිහට.
යම් යම් අවස්ථාවලදී එවැනි සිදුවීම් වුණා. මේ රටේ වගකිව යුත්තන් හාමුදුරුවන්ගෙන් නිසි ප්‍රයෝජන ගන්න අවශ්‍ය නිවැරැදි ක්‍රමවේදයක්, නිවැරැදි වැඩපිළිවෙළක් හදලා තියෙනවද කියලා කියන එක තමයි අප අපෙන්ම ප්‍රශ්න කරන්න ඕන.

දානෙට, පිරිතට, බණට, පාංශුකුලය හාමුදුරුවන්ගේ භූමිකාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක තමයි බොහෝදෙනා බලාපොරොත්තු වන භූමිකාව.
පාසල් දරුවන්ට රෙදි දෙනවා, පාසල් පොත් දෙනවා ඉදිරියේදී මොනවද ලැප්ටොප්ද දෙන්න යනවා නිකං. ඒකට තවත් වචනයක් කියනවා පිනට, ටැබ්ලට් දෙන්න යනවා කියලා. මම නම් කියන්නේ මේ දරුවන්ට දැනට ඕවා අවශ්‍ය නැහැ. උසස් අධ්‍යාපනයට ගියාට පස්සේ උදවු කරන්න. මේ නවීන තාක්ෂණයට ළමයින්ගේ දියුණුවට එහෙම නැතිනම් අධ්‍යාපනයට ඒවා ඔක්කොම දීලා ළමයින්ගෙ ස්වාභාවික හැකියාවන්වලට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක දුන්නොත් එක වරක් හෝ හැමදාම ළමයින්ට දෙන්න වෙනවා මේ ටැබ්ලට් යම්කිසි කාලයක ඒක රටට විශාල බරක් වෙනවා. ටැබ්ලට් එකක් දෙන එක අත්‍යවශ්‍ය කාරණයක් නොවෙයි. ඒ ගැන මම කියනවා හිතලා බලන්න කියලා. ඒ තුළින් සමහර ප්‍රශ්න ඇතිවෙනවා.

දැන් අලුත් නීතියක් ගුරුවරයෙක් එක පාසලක අවුරුදු 10කට වඩා සේවය කරන්න බැහැ කියලා. එයා එතැන හොඳට වැඩ කළත් නරකට වැඩ කළත් එයාව අවුරුදු 10න් වෙන පළාතකට යවන්න ඕන. හැම ගුරුවරයකුම.

මේක හැම තැනම සාධාරණ නැහැ. යම් පාසලක් හරියට දියුණු කරගෙන වැඩ කරගෙන දියුණු කරගෙන යන ගුරුවරයෙක් හෝ ප්‍රධාන ආචාර්යවරයෙක් ඉන්නවා නම් ඒ අයට අවස්ථාව දෙන්න. ඒ පැත්තෙන් හොඳ නිදර්ශනයක් තමයි අපේ කස්සප හාමුදුරුවෝ. උන්වහන්සේට කිසිම දේශපාලනඥයෙක් ඇඟිලි ගහන්න ආවේ නැහැ. උන්වහන්සේ පෙන්නුවා මම වැඩ කරන්නේ මෙහෙමයි කියලා.

කොළඹ - එම්.සී. පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon