හිටපු මුදල් ඇමැතිට ‘පල යකෝ යන්න’ කියලා මම මගේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන ගියා

  👤  3637 readers have read this article !
By mawbima 2017-11-17

පසුගිය දසවසරක් තුළ සමෘද්ධි බැංකු සතු අරමුදල් පිරිමැසුණේ නැති බවත් තමා පැමිණ එම අරමුදල් වැඩි පොලියට ආයෝජනය කළ හැකි පරිදි ආයෝජකයන්ට අවස්ථා උදාකර දීමට සැරැසුණු විටදී හිටපු මුදල් අමාත්‍යවරයා ඊට උරණ වූ බවත් සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට ඇමැති එස්.බී. දිසානායක පවසයි. එසේ උරණ වී තමා පත්තරවල පළ කළ දැන්වීම් අවලංගු කරන ලෙස පවසද්දී තමා 'පල යකෝ යන්න' යැයි පවසා ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිය බවද ඔහු පැවැසුවේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පෙරේදා (15දා) පැවැති සමෘද්ධි සංවර්ධන නිලධාරීන් 1904 දෙනකුට පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය.
පසුගිය අවුරුදු දහය ඇතුළත සමෘද්ධි බැංකුවල කෝටි ප්‍රකෝටි ගණන් නිවැරැදිව ආයෝජනය නොකිරීමේ ප්‍රතිඵල ඉන් පසුව ගම්වල අසරණ ජනයාට මුහුණ දෙන්නට සිදුවූ දේවලින් පැහැදිලියි. ගිනි පොලීකාරයන් ගමට රිංගා ගත්තා. මේක මාෆියාවක් බවට අද පත්වෙලා.

අපේ සමෘද්ධි අරමුදල රුපියල් බිලියන 400 දක්වා වර්ධනය කරගන්නට තිබුණු නමුත් පසුගිය කාලවකවානුව සමෘද්ධියේ අඳුරු යුගයක් බවට පත්වුණා. බැසිල් රාජපක්ෂ එවකට හිටපු විෂය භාර ඇමැතිවරයා මේ ව්‍යාපාරය කුමක්ද කියලා හරියට තේරුම් ගත්තේ නෑ. ඒ නිසා 2%, 3% වගේම පොලිය නැතිවත් සමෘද්ධි බැංකුවලින් ණය දෙන්න පටන් ගත්තා.

ඒ විතරක් නෙවෙයි විදේශිකයන්ට පවා ණය ලබා දුන්නා. ඡන්දය නිසා නිකනුත් මුදල් දුන්නා. නමුත් අපි මේ ව්‍යාපාරය නිර්මාණය කළේ පුළුල් දැක්මක් සහ අධ්‍යයනයකින් පසුවයි.

බංග්ලාදේශයේ ග්‍රාමීන් ව්‍යාපාරය, දකුණු කොරියාවේ සැමුවෙන් අන්ඩොන් ව්‍යාපාරය, ඊශ්‍රායලයේ කිබුට්ස් ව්‍යාපාරය වගේ ලෝකයේ අති සාර්ථක වුණු දිළිඳුකම පිටු දැකීමේ ව්‍යාපාර ගණනාවක් පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුවයි අපි මේක ආරම්භ කළේ.
ඒ කිසිවක් නොදැන කිසිදු අධ්‍යයනයකින් තොරව සමෘද්ධි ව්‍යාපාරයේ තේරුම පිළිබඳවත් නොදැනයි ඒ අය කටයුතු කළේ. නමුත් ආයෙත් අපට හැකි වුණා සමෘද්ධිය අතට ගන්න. මේ ව්‍යාපාරයට පණ ගහලා නැඟිට්ටුවන්නට අපි දැන් කටයුතු කරගෙන යමින් ඉන්නේ.
අපි 1995දී සමෘද්ධි නියාමකයන් පත්කරද්දී අපි හිටපු ජනාධිපති ජේ.ආර්.ට උත්තරයක් විදියට දේශපාලන වශයෙන් පාක්ෂිකයන්ට පත්වීම් දුන්නා. මොකද එදා එජාප ග්‍රාම සේවකගෙන් ආපු දේශපාලන මර්දනය ඇතුළේ ගමට ගිහින් අපේ අයට වැඩ කරන්න හරිම අමාරු වුණා.
එදා ඉඳන් අද වෙනතරු රටේ රාජ ප්‍රධානීන් බිහි වුණේ ශ්‍රී ලනිපයෙන්. මේ වනතුරු සමෘද්ධිය නිසා රටේ දරිද්‍රතාවට අපට අත දෙන්න හැකි වුණා. 1994, 1995 අවුරුදු වන විට අපේ රටේ 20%ක් පැල්පත් තිබ්බා. අද ඒවා 7%, 8%ක් පමණ ඇති.
එදා සමෘද්ධිය නිර්මාණය වෙද්දී 62%කට පමණයි විදුලිය තිබ්බේ. අද 99.2%කටම විදුලිය තියෙනවා. ඉදිරියේදී අපි අනවසර පදිංචි පිරිස්වලටත් විදුලිය ලබාදෙමින් ඒ ප්‍රතිශතය 100% දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.

පසුගිය දස වසරේ ගත් මෝඩ තකතීරු තීරණයක් තමයි සමෘද්ධි බැංකුව සේවය කරන නිලධාරියාට ඒ බැංකුවෙන් ණයක් ගන්න තිබ්බ ඉඩකඩ අහුරා දැමීම. මේක මොන රටකවත් නැති දෙයක්.

කොහොම වුණත් සමෘද්ධි ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කරන්න බොහෝ දේවල් තියෙනවා. එතැනදී දේශපාලන පක්ෂ භේද, පාට භේද අමතක කරලා ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න කියන එකයි ඔවුන්ට කියන්න තියෙන්නේ.
පත්වීම් ලබන වැඩි ප්‍රමාණයක් ස්ත්‍රී පාර්ශ්වය. මං ඔබගෙන් ඉල්ලනවා ප්‍රසූත නිවාඩුව අයිතියක් කරගන්නෙ නැතිව ඒ කාලයේදී හැකි පමණින් මේ අහිංසක ජනතාවට අත දෙන්න එකතු වෙන්න කියලා.

පත්වීම් ලබාගන්නා තරුණ තරුණියන් තමන්ගේ පළමු විවාහය සමෘද්ධි ව්‍යාපාරය කරගන්න. මොකද රටේ දුප්පත් ජනතාවගේ දුක සැප සොයා බලන දුප්පත්කමෙන් මුදා ගන්න ව්‍යාපාරය තමයි සමෘද්ධි කියන්නේ.

ඉතින් අපි කවුරුත් කාර්යබහුල වෙන තරමට රටේ දිළිඳුකම තුරන් වේවි.
හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon