නාමල්-සුජීව ගැටුමෙන් මැතිසබය රත්වේ

  👤  3549 readers have read this article !
By mawbima 2017-11-17

අය-වැය දෙවැනි වර කියවීමේ විවාදයේ හය වැනි දිනය විපක්‍ෂය වෙනුවෙන් ඊයේ (16දා) දින ප්‍රථමයෙන් කතා කළේ විපක්‍ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්පන්දන් මහතාය.

අය-වැයට වඩා සම්පන්දන් මන්ත්‍රිවරයා කතා කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව, බලය බෙදීම ගැන. මීට පෙර සිදුවූ සාකච්ඡා සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳවයි.
තම කතාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගය කළ ආර්. සම්පන්දන් මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ‍ෙදාස් පවරන ලදී.

'නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් වැරැදි අර්ථකථන ලබාදෙනවා. රට බෙදන යෝජනා මීට ඇතුළත් වෙලාලු. එහෙම නැහැ. රට බෙදන යෝජනා ඇතුළත් වෙලා නැහැ. රට බෙදීමක් සිදුවීමට කිසිම ඉඩක් නැති වගන්ති මීට ඇතුළත් වෙනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න ඕන නම් ඒක කරගන්න. නමුත් ඒකට ව්‍යවස්ථාව පටලවා ගන්න එපා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙක්. ඒක නිසා ඊට නොගැළපෙන දෙයක් කරන්න එපා' යනුවෙන් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා ප්‍රකාශ කෙළේය.
ආර්. සම්පන්දන් මහතාගේ කතාවෙන් වැඩි කොටසක් වෙන් කෙරුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ගැන කතා කිරීමටය. එහිදී දැඩි විවේචනද එල්ල කෙරිණි. මෙසේ විවේචනය කරමින් සිටි අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිසබයට පැමිණියේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද සමඟය.
මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආසනය පිහිටා තිබෙන්නේ ආර්. සම්පන්දන් මහතාගේ ආසනය ආසන්නයේය.
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාද හොඳින් හරිබරි ගැසී අසුන් ගෙන ආර්. සම්පන්දන් මහතාගේ කතාවට අවධානය යොමු කළේය.

'මගේ කතාව යන වේලාවේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා මෙම ස්ථානයට පැමිණීම ගැන මං සතුටු වෙනවා. ඔබතුමා ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙක්. ඔබතුමාට ඉහළ ජනතා පිළිගැනීමක් තියෙනවා. අපට ඔබගේ සහාය අවශ්‍යයි. ඔබතුමාගේ පියා ඩී.ඒ. රාජපක්‍ෂ මහතාට මං ගරු කරනවා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවන්න එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සෙවණැල්ල මෙන් පිටුපසින් ගියේ ඩී.ඒ. රාජපක්‍ෂ මහතායි. ඔබත් ඒ වගේ වෙනවට මං කැමැතියි. මේ රටටත් අවශ්‍ය ඒකයි. මේ රට ආපස්සට ගෙනියනවාද? රට ආලෝකයකට ගෙනියනවාද? කියලා ඔබතුමා තීරණය කරන්න' යනුවෙන් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දෙස බලමින්ම කියා සිටියේය.

ඉන් පසුව විවාදයට එක් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.
බොහෝ දෙනකු සිතුවේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතාට පිළිතුරු ලබාදේවි කියාය. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා ඊට ප්‍රතිචාර ලබාදුන්නේ එක් වාක්‍යයකින් පමණක් වීම විශේෂත්වයකි.

'ඔබතුමාගේ හැඟීම්බර කතාව අවබෝධ කරගත හැකියි' යනුවෙන් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා විසින් විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතාට ප්‍රකාශ කරන ලදී.
ඉන් පසුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය ආරම්භ කළේය. විනාඩි 50කට ආසන්න කාලයක් කතා කළ ඒ මහතා වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් දැඩි ලෙස විවේචනය කළේය. රට ණය බරට ඇද දමා ඇත්තේ වත්මන් ආණ්ඩුව විසින් බවත් ජනතාව මත අසීමිත බදු බරක් පැටවීමට වත්මන් ආණ්ඩුව ක්‍රියාකර තිබෙන බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

දීර්ඝ වේලාවක් විවාදයට එක්වී අදහස් දැක්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා කතාව අවසන් කළේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අත්පොළසන් නාදය මධ්‍යයේය.

ඉන් පසුව විවාදයට එක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ක්‍ෂණිකව මැතිසබය උණුසුම් කළේය.
'පළාත් පාලන මැතිවරණය කල් දාන්න ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරනවා. ඔවුන්ගේ පිරිසක් අධිකරණයට ගොස් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය කල් දාන්නයි' යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කෙළේය.
මේ චෝදනාවට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට යක්‍ෂයා ආරූඪ විය.

කාංචන විජේසේකර, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු දිගට හරහට රීති ප්‍රශ්න මතු කරන්නට වූහ.
ආණ්ඩු පක්‍ෂයෙත් ඒකාබද්ධ විපක්‍ෂයෙත් ජනතා නියෝජිතයන්ගේ කෑ කෝ ගැසීම් නිසා මැතිසබය තුළ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.
'ඔබතුමාලා නොවෙයි නම් කවුද? පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගියේ කියලා කියන්න' යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

'මේ ගැන අපිත් හොයලා බැලුවා. ඡන්දය කල්දාන්න අපිට වුවමනාවක් නැහැ. ඡන්දය තියන්න කියලා වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ ඒකාබද්ධ විපක්‍ෂයයි. ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිතුමාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුයි, ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ හිතවතෙක් වන මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩකරන සේවකයකුයි, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා විසින් පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට තරග කරන්න ඉදිරිපත් කරපු අපේක්‍ෂකයකුයි තමයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එරෙහිව අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. අනිත් කට්ටිය ගැනත් කියන්නම්' යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතා කියාගෙන ගියේය.

මේ සමඟම මැතිසබය තවත් උණුසුම්කාරී විය.
'ඡන්දෙ කල්දාන්න වුවමනාව තියෙන්නේ කාටද කියලා ඉතා පැහැදිලියි. ලැජ්ජයි' යනුවෙන් අදහස් දැක්වූයේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාය.

තමාට එල්ලවූ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කෙළේය.
'මගේ කවුරුත් ගෝලයෝ උසාවි ගිහිල්ලා නැහැ. ඒ ගොල්ලන් අලුත් පක්‍ෂයකින් ඡන්දය ඉල්ලන බව ආරංචියි' යනුවෙන් ඩිලාන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
'ඡන්දය කල්දාන්න කවුරු හරි සූදානම් වෙනවා නම් ඒක වැරැදියි. ඒක අනුමත කරන්න බැහැ. අපි ඡන්දෙ කල් දානවට කැමැති නැහැ. ඡන්දයක් තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම දිනනවා. යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

"හවුල් ආණ්ඩුවක්නේ තියෙන්නේ. ඡන්ද කල් දාන්නේ ඇයි? කැතයි. ලැජ්ජයි ලැජ්ජයි, යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බැස යන්නට වූහ.
එම උණුසුම්කාරී තත්ත්වයෙන් අනතුරුව දිවා ආහාරයට මැතිසබය පැයක කාලයකට අත්හිටුවන ලදී.
දිවා ආහාරය ලබා ගැනීම සඳහා සභා ගර්භයේ සිට පැමිණි ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක් දෙවැනි මහලේ විදුලි සෝපානය අසලදී මුණගැසුණහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමඟ ඉතා සුහදශීලීව කතාබස් කළ හරීන් ප්‍රනාන්දු, අජිත් පී. පෙරේරා මහත්වරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දී සුහදතාව පළ කළහ.

"අපි ඡන්දෙ කල් දාන්න කියලා උසාවි යන්නේ නැහැ. අපිට ඕන කොහොම හරි ඡන්දෙ තියන්න" යනුවෙන් මෙහිදී අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාට පැවැසුවේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් ද සොයිසා මහතාය.
"මං දන්නවා. උසාවි ගියේ කවුද කියලා. දැනගෙන තමයි මං ඔයගොල්ලන්ට බෝලේ දැම්මේ" යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"ඔයා දාපු බෝලෙට අපි හයේ පාරක් ගැහුවා" යනුවෙන් රංජිත් ද සොයිසා මහතා කළ ප්‍රකාශයට අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයාද සිනහ විය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ ටික වේලාවක් කතාබහ කළේය.
"ඡන්දෙ කල් දාන්න නේද හදන්නේ" යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කතාවට මුල පිරුවේය.

"ඡන්ද කල් දාන්න දෙන්නේ නැහැ. ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා" අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිචාර දැක්වීය.
"තවත් ඡන්දෙ කල් දාන්න දෙන්න බැහැ. මේ රටේ ජනතාව ඉල්ලන්නේ ඡන්දයක්" යනුවෙන් ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනුර කුමාර දිසානායක මහතාට සමු දී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ දිවා ආහාරය ලබා ගැනීම සඳහා මැති ඇමැතිවරුන්ගේ භෝජනාගාරය වෙත ගියේය.
එසේ යන අතරතුර එක්සත් ජාතික පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ටික වේලාවක් කතාබස් කළේය.
එසේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ කතාබස් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් අළුවිහාරේ මහතාය.
ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවාදයට එක් වෙමින් දේශපාලන අනාවැකියක් ප්‍රකාශ කළේය.
"ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා අනාගත අගමැතිතුමා වේවා කියා ප්‍රාර්ථනා කරනවා" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දෙස බලමින්ය.

"අපේ ගමේ කෙනෙක්. අපේ පැත්තේ කෙනෙක් අනාගත අගමැති වෙනවා නම් හොඳයි" කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයා සිනහ වෙමින් කළ ප්‍රකාශයට ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාද සිනහ විය.
පාර්ලිමේන්තුව ඊයේ සවස් කාලයේ දැඩි ලෙස උණුසුම් වූයේ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර මන්ත්‍රිවරුන් සමඟ ඇති වූ උණුසුම් කතාබහ හේතුවෙනි.

අර්ජුන් ඇලෝසියස්ට 47 වතාවක් සුජීව සේනසිංහ මහතා දුරකතන ඇමතුම් ලබාදී ඇති බව බැඳුම්කර කොමිසමේදී හෙළි වී තිබෙන බව කාංචන විජේසේකර මහතා පැවැසුවේය.
ඊට ප්‍රතිචාර දක්වමින් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කාංචන විජේසේකර මහතාගේ පියා මහින්ද විජේසේකර මහතා අක්‍රමිකතා රැසක් සිදු කර තිබෙන බවයි.
එක් අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එඩ්වඩ් ගුණසේකර මහතා මූලාසනයේ සිටින විට ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා අදහස් දැක්වීමට නැඟී සිටියේය.

විනාඩි 10ක කාලයක් තිබුණද එම කාලය විනාඩි 08 දක්වා අඩු වී තිබෙන බව මූලාසනයෙන් ප්‍රකාශ වීමත් සමඟම රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයාට යකා නැග්ගේය.
"අපිට සාධාරණ වෙලාවක් දෙන්නේ නැහැ. අපි විපක්ෂයේ තියන්න කියලා කියද්දී බලහත්කාරයෙන් අපි ආණ්ඩුව පැත්තට දාපු එවුන්ට ශාප වේවා. ශාප වේවා... ශාප වේවා" කියා රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා කෑගැසුවේය.

ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ අත්වලින් අල්ලාගෙන පාර්ලිමේන්තුවේ පළමු මහලේ පුස්තකාලය අසලදී ඉතා සුහදව කතාබස් කරමින් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි.

"මේ තමයි අපේ කුක්කු පැටියා" කියමින් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් බන්දුල ගුණවර්ධන මහතා බදාගන්නා ලදී.
"අපේ ආණ්ඩුවේ හිටපු ඇමැති කෙනෙක්නේ. එදා ඉඳලම අපි ආදරෙයි. ආදරේ වැඩිකමටයි කුක්කු පැටියා කියලා කියන්නේ" යනුවෙන් දිලිප් වෙදආරච්චි නියෝජ්‍ය අමාත්‍යවරයා කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon