තෙල් අර්බුදය යහපාලන ආණ්ඩුවේ දුර්වල කමක්

  👤  3279 readers have read this article !
By mawbima 2017-11-17

තෙල් අර්බුදය යහපාලන ආණ්ඩුවේ දුර්වලතාවක් බවත්, එය මඟහැර යෑමට හැකියාවක් නොමැති බවත්, විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තෙල් අර්බුදය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වැරැදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතු බව පැවැසූ අමුණුගම මහතා මාධ්‍ය හමුවේදී මෙසේද සඳහන් කළේය.
තෙල් අර්බුදය පිළිබඳ මගේ සභාපතිත්වයෙන් යුතුව පත්කළ සිවු පුද්ගල කමිටු වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන්නා. තෙල් සංස්ථාව තුළ හොඳ පරිපාලනයක් තිබුණා නම් මෙවැනි ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා පරිපාලනයට කිසිදු සමාවක් ලබාදිය නොහැකියි. ප්‍රමාද කරුණු 5ක් අපි හඳුනාගෙන ඒ වාර්තාවට ඇතුළත් කළා. තෙල් මෙටි්‍රක් ටොන් 90,000ක් ගබඩා කරන්න තිබුණත් නියමිත ලෙස එය ගබඩා කර නැහැ. නැවත තෙල් ගෙන්වන්න දින 4ක් 5ක් ප්‍රමාද කළා. දිනකට තෙල් මෙටි්‍රක් ටොන් 500ක් පිරිපහදු කළ යුතුව තිබුණා. තෙල් ආරක්ෂිත තොග ලෙස මෙටි්‍රක් ටොන් 56,500ක් පවත්වාගෙන යෑමට ඉඩකඩ තිබුණත් එය කර නැහැ. තෙල් පමණක් නෙමෙයි විදුලිය, ආහාර වැනි දේවලට පවා හිඟයක් ඇතිවූ විට දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. අවසානයේ වෙන්නේ කෙටිකාලීන ක්‍රියාමාර්ග හරහා වැඩි මුදල් නාස්තියක් පමණයි. ඒක දූෂණයට අත වැනීමක්. තෙල් සංස්ථාව තුළ අතිරික්ත සේවකයන් ඉන්නවා. වැඩි පඩි ගෙවනවා. ඒත් කාර්යක්ෂමතාවක් නැහැ.

තෙල් අර්බුදයකට දිගුකාලීන කාර්යක්ෂම වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා. ඒ අනුව නවීන තාක්ෂණයත් සමඟ නූතන තොග පාලන ක්‍රමයකට ගමන් කිරීම, භෞතික ක්‍රමවේදය ඔස්සේ අසාර්ථක කොටස් කඩිනමින් නැංවීම, තෙල් දිගුකාලීන මිලදී ගැනීමේ වැඩපිළිවෙළ, නිශ්චිත කාල සීමාවක් තුළ තෙල් නැව් ගෙන්වීම, හදිසි අවස්ථාවකදී රජය තවත් රජයකින් තෙල් ගෙන්වීම, ගබඩා ධාරිතාව කඩිනමින් වැඩි කිරීම, තෙල් මෙටි්‍රක් ටොන් 90,000 ප්‍රමාණය තවත් 40,000 කින් වැඩි කිරීම එම යෝජනායි.
2018 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අය-වැය යෝජනා වන සාධනීය තත්ත්වයන් පිළිබඳ අමාත්‍යවරයා එහිදී අදහස් පළ කළේය.

2018 අය-වැය මඟින් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2326ක්. වියදම ලෙස ගැනෙන මුදල රුපියල් බිලියන 3001ක්. ආදායම සහ වියදම අතර හිඩැස රුපියල් බිලියන 675ක් වෙනවා. වියදම් මුදලින් වර්තන වියදම එනම් වැටුප්, විශ්‍රාම වැටුප්, පළාත් සභා ප්‍රතිපාදන සඳහා වියදම රුපියල් බිලියන 2250ක් වෙනවා. රටේ මුළු ආදායම වර්තන වියදමට වැය කරන්න වෙලා. 2014 තිබූ පුද්ගල බදු ආදායම රුපියල් බිලියන 198 සිට 2018 වන විට එම මුදල රුපියල් බිලියන 375 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතයි. ඒ අනුව පුද්ගල බදු ආදායම දෙගුණයක් දක්වා වැඩි කරගන්න සමත් වෙලා තිබෙනවා. මෙය සාධනීය තත්ත්වයක්. පසුගිය කාලයේ මේ මුදල් ගියේ කොහේටද කියලා හොයන්න ඕනේ.
2014 දී 5.7 ලෙස තිබූ අය-වැය හිඟය 4.8 දක්වා අඩු කරලා තිබෙනවා. හැබැයි කිසිම කෙනෙක් මේ අය-වැයේ තිබෙන සාධනීය තත්ත්වයන් ගැන කතා කරන්නේ නැහැ. ඒක තමයි කනගාටුදායක තත්ත්වය.

බලන්න අය-වැයට පෙර ආණ්ඩුව ආනයනික භාණ්ඩ 7ක බද්ද පහළ දැමුවා. හැබැයි එහි වාසිය තාම ජනතාවට ලැබිලා නැහැ. මිල වැඩි කළාම බඩු මිල වැඩි කරන වෙළෙඳුන් බඩු මිල පහත දැමුවම මිල පහත දමන්නේ නැහැ. ජනතාව මේ ගැන අවදියෙන් ඉන්න ඕන. මෙහි වාසිය වෙළෙඳුන්ට නෙවෙයි පාරිභෝගිකයන්ට ලබාදිය යුතුයි. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා පාරිභෝගික අධිකාරියෙන් මේ ගැන හොයල බලන්න කියලා.

සිදත් මෙන්ඩිස්
ඡායාරූප-කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon