ප්‍රබල ඉන්දියානුවෝ ලක්මාල් ඉදිරියේ ලොක් වෙති

  👤  3321 readers have read this article !
By mawbima 2017-11-17

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දියාව කඩුලු 3කට ලකුණු 17ක් ලබා සිටි අතර, ඉන්දියානු කණ්ඩායමේ දැවී ගිය කඩුලු 3ම ලබාගත්තේ සුරංග ලක්මාල්ය.

කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩා පිටියට පෙරේදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය පස්වරු 2.30ට ආරම්භ වූ නමුත් එයද පන්දුවාර 11.5කට සීමා විය. කෙසේ වෙතත් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමු ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි ඉන්දීය ආරම්භක පිතිකරුවන් වූ ලෝකේෂ් රාහුල් හා ෂිකර් දවාන් අතුරින් ෂිකර් දවාන් සුරංග ලක්මාල් තරගයේ යැවූ පළමු පන්දුවාරයේ පළමු පන්දුවටම කඩුලු රකින දික්වැල්ල අතට උඩපන්දුවක් ලබා දීමෙන් දැවී ගියේ ඉන්දීය නරඹන්නන්ද විමතියට පත්කරමිනි.
වේගපන්දු යවන්නන්ට හිතකර ඊඩ්න් ගාඩ්න් තණතීරුවෙහි උපරිම ප්‍රයෝජන ගත් සුරංග ලක්මාල් ඉන්දියානු කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙසින් අනෙක් ආරම්භක පිතිකරුවා වූ ශිකර් දවාන් දවාගන්නා විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 2කට ලකුණු 13ක් ක් විය.

දවාන්ගේ දැවී යෑමෙන් අනතුරුව පැමිණි ඉන්දීය නායක කෝලිටත් කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර කඩුල්ල මුවාකර ගැනීමේ වරදට හසු කරගැනීමට ලක්මාල් සමත් වන විට ඉන්දියාව කඩුලු 3කට ලකුණු 17ක් බවට පත්වූයේ ප්‍රධාන විනිසුරු නයිජල් ලෝන් ලබා දුන් තීරණයට හිස නැමූ කෝලි ක්‍රීඩාගාරය බලා ගිය බැවිනි.
කෝලිගේ දැවී යෑමෙන් මඳ වේලාවකට පසු ආලෝක තත්ත්වය අයහපත් වීම හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් විසින් තීරණය කළ අතර, විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ සුරංග ලක්මාල් පන්දුවාර 6ක් යවා නිලකුණු පන්දුවාර 6ක් සහිතව කඩුලු 3ක් දවාගැනීම කැපී පෙනුණි.
අද තරගයේ දෙවැනි දිනයයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon