පෙත්සම නිසා ඡන්දය කල්යනවා

  👤  3297 readers have read this article !
By mawbima 2017-11-17

කමල් මහේන්ද්‍ර වීරරත්න

රජයේම පාර්ශ්වයක් විසින් ගොනුකොට ඇති පළාත් පාලන සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම විභාගයට ගතහොත් යෝජිත පළාත් පාලන මැතිවරණය යළිත් දින නියමයක් නොමැතිව කල්යෑමක් සිදුවන හෙයින් එය විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටිමින්...ශ්‍රී ලකා නිදහස් පක්ෂය හැර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම "කැෆේ" සහ "පැෆරල්" යන මැතිවරණ නිරීක්ෂක සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් ඊයේ (16දා) අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්වීය.

සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න, කුමුදිනි වික්‍රමසිංහ යන ත්‍රිපුද්ගල විශේෂ අභියාචනාධිකරණ විනිසුරු මඬුුල්ල හමුවේ මෙම කරුණු දැක්වීම සිදුවිය.
මහනුවර මහනගර සභාව, කොළඹ මහ නගර සභාව, පඬුවස්නුවර ප්‍රාදේශීය සභාව, හාලිඇල ප්‍රාදේශීය සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව හා නුවරඑළිය කොටපොළ ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශ හයෙහි ඡන්ද හිමියන් 06 දෙනකුගේ නමින් නීතිඥ මාලිකා සුඑන්දි ඇල්ලපිටගෙදර මෙනෙවිය විසින් මෙම පෙත්සම ඉකුත් සිකුරාදා ගොනුකරනු ලැබුවාය.

මැතිවරණ හෝ ඊට අදාළ කරුණක් සම්බන්ධයෙන් ගොනු කෙරෙන පෙත්සමකදී මැතිවරණ කටයුතුවලට අදාළ බලධාරියා වන මැතිවරණ කොමසාරිස්වරයා හෝ මැතිවරණ කොමිසම වගඋත්තරකරුවකු විය යුතුව තිබුණද මෙම පෙත්සමෙහි එකී තත්ත්වය මඟහැර යමින් පළාත් පාලන ඇමැතිවරයා සහ එහි ලේකම්වරයා පමණක්ම වගඋත්තරකරුවන් කොට තිබීම ගැනද පෙත්සමට එරෙහි සියලු පාර්ශ්වයන් කරුණු දැක්වූහ.

ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න, ක්‍රිෂ්මාල් වර්ණසූරිය, සාගර කාරියවසම්, ශාන්ත ජයවර්ධන, සුනිල් වටගල, හිරෝෂ මුණසිංහ, මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විධායක අධ්‍යක්ෂවරුන් වන රෝහණ හෙට්ටිආරච්චි, කීර්ති තෙන්නකෝන්, ඇතුළු සියල්ලෝම විනිසුරු මඬුල්ල හමුවේ කරුණු පවසමින් ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙසටය.

සියලු පාර්ශ්වයන්ගේ ඉල්ලීම වූ පෙත්සමේ මැදිහත් පාර්ශ්වකරුවන් වීමේ ඉල්ලීම ලබන සඳුදා (20දා) පෙර ඉදිරිපත් කරන ලෙස දන්වා සිටි විනිසුරු මඬුල්ල සිය නියෝගය ලබන බදාදා (22දා) දින ලබාදෙන බව ප්‍රකාශ කර සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon