උතුරේ අධ්‍යාපන ඇමැති ජාතික කොඩි එසවීම ප්‍රතික්ෂේප කරයි

  👤  3327 readers have read this article !
By mawbima 2017-11-17

සනත් ප්‍රියන්ත - වවුනියාව

වවුනියාව ප්‍රදේශයේ සිංහල පාසලක පැවැති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.

වවුනියාව ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ඊයේ (16දා) පැවැත්විණි.
මේ උත්සවයේ සංවිධාන කටයුතු අදාළ විදුහල විසින් සිදුකර ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා වෙත ආරාධනා කොට තිබිණි.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් ඊයේ (16දා) පාසලට පැමිණි අතර තොරන් ගසා තූර්ය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව එළැඹි අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කිහිප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරුන් ආරාධනා කළ අතර ඔහු විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීය.

දැනගන්නට ලැබෙන පරිදි ඉකුත් වසරේදීද මෙම පාසලේ පැවැති උත්සවයක් සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාජා මහතාද උත්සව අවස්ථාව ආරම්භ කිරීමට ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon