බැඳුම්කර හොර සල්ලිවලින් පත්තර ගහනකොට මම ප්‍රසිද්ධියේ විවේචනය කළා

  👤  3867 readers have read this article !
By mawbima 2017-11-17

අර්ජුන් ඇලෝසියස් තමාට දුරකතන ඇමතුම් දෙකක් දුන් බවට මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේදී ඊයේ වූ සඳහන ගැන පැහැදිලි කිරීමක් කරමින් ඇමැති දයාසිරි ජයසේකර මහතා මෙසේ කියයි.

"අර්ජුන් ඇලෝසියස් මට කෝල් දෙකක් දීලා හමුවෙන්න වෙලාවක් ඉල්ලුවා. ඒ පවුල අවුරුදු ගණනක් තිස්සේ මම දන්නවා. ඔහු මාව අමාත්‍යාංශයේදී හමුවුණා. ඔහු කිව්වා ඔහු නිර්දෝෂියි. වරදක් කරලා නෑ. ඔහුට සහාය දෙන්න කියලා.

ඔහු මාව හමුවුණේ බැඳුම්කර වංචාව ගැන කෝප් කමිටුවේ විමර්ශන සිදුවෙමින් තිබූ දිනවලයි. මම ඔහුට පැහැදිලිවම කිව්වා කෝප් කමිටු පරීක්ෂණවලින් මේ ක්‍රියාදාමය තුළ ඔයාලා කරමුලින්ම අහුවෙලා ඉන්නේ. මට ඔයාලාව ආරක්ෂා කරන්නත් බෑ. මේ කාරණය ගැන මා සමඟ කතා කරන්න එපා කියා. ඊට පස්සේ ඔහු යන්න ගියා.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මා මුල සිට ක්‍රියා කළේ හා කතා කළේ මොනවාදැයි රටේ ජනතාව දන්නවා. මම පෙනී හිටියේ කවුරුන් වෙනුවෙන්දැයි දන්නවා. බැඳුම්කර සල්ලිවලින් පත්තරයක් ගහන්න කටයුතු කරන විට මාධ්‍ය හමුවකදී මම එය ප්‍රසිද්ධියේ විවේචනය කළා. හොරකම් කරපු සල්ලිවලින් ගහන පත්තරවලට යන්න එපා ඒවායින් ගන්න සල්ලිවලින් ළමයින්ට කන්න දෙන්න පුළුවන්දැයි මම මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළා. මට හොරු ආරක්ෂා කරන්න අවශ්‍ය නෑ.
මම අර්ජුන් ඇලෝසියස්ගෙන් එපාට්මන්ට් අරගෙනත් නෑ. ඒවාට කුලී ගෙවලත් නෑ. ඇලෝසියස්ගෙන් කෝල් දෙකක් ආපු එක වගේම මම කතා කළේ මොනවාදැයි අහන්න ජනාධිපති කොමිසමට කැඳෙව්වොත් පැහැදිලිවම ඒ ගැන ප්‍රකාශයක් කරන්න මම සූදානම් යැයිද ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon