දිගින් දිගටම දුම්රිය ප්‍රමාදය වැඩි වෙලා

  👤  3285 readers have read this article !
By mawbima 2017-11-17

උපතිස්ස පෙරේරා

දුම්රියක් මැදවච්චිය පරසන්ගස්වැවදී පීලි පැනීම, තවත් දුම්රියක් ගම්පහ දාරලුවේදී කාර්මික දෝෂයකට ලක්වීම,...දුම්රිය මාර්ග සංඥා දෝෂයක් නිසා කොටුවෙන් හා මරදානෙන් ඇරැඹෙන දුම්රියන් සියල්ල ප්‍රමාදවීම හේතුවෙන් ඊයේත් (16දා) පෙරේදාත් දුම්රිය මගීහු බලවත් අපහසුතාවට පත්වූහ.

රජරට රැජන දුම්රියේ මැදිරි 4ක් පරසන්ගස්වැවදී පීලි පැනීම නිසා ඉකුත් අඟහරුවාදා රාත්‍රියේ සිට යාපනය හා කන්කසන්තුරේ බලා ධාවනය වන සියලුම දුම්රියයන් ඊයේ සවස වන විටත් අනුරාධපුරය දක්වා සීමා කිරීම නිසා යාපනය, කිලිනොච්චිය හා වවුනියාව තෙක් ආසන වෙන්කරගත් මගීහු බලවත් දුෂ්කරතාවකට පත්වූහ.

ඊයේ පෙරවරු 8.00ට පමණ දුම්රියක් ගම්පහ, දාරලුවේදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රියයන් ගණනාවක් ප්‍රමාද වී ධාවනය විය. එමෙන්ම ඊයේ පස්වරු දුම්රිය මාර්ග සංඥා පද්ධතියේ දෝෂයක් නිසා ප්‍රධාන දුම්රිය මාර්ගය, මුහුදුබඩ දුම්රිය මාර්ගය, පුත්තලම් මාර්ගය හා කැලණිවැලි මාර්ගයේ ධාවනය වූ සියලුම දුම්රියයන් ප්‍රමාදවී ධාවනය කිරීම නිසා රජයේ හා පෞද්ගලික අංශයේ සේවා අවසන් කර නිවෙස් බලා යෑමට පැමිණි අති විශාල මගීහු සංඛ්‍යාවක් දැඩි දුෂ්කරතාවකට පත්වූහ.
මේ පිළිබඳව දුම්රිය පාලක මැදිරියෙන් අප කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කළේ දුම්රිය පීලි පැනීමෙන් හානියට පත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීම නිසා ඊයේ පස්වරුවේ සිට වවුනියාව හා යාපනය දක්වා දුම්රියයන් නියමිත කාලසටහන් අනුව ධාවනය කරන බවයි. මාර්ග සංඥා දෝෂයන්ද ඊයේ පස්වරුවේ අලුත්වැඩියා කිරීමෙන් පසු නියමිත කාල සටහන්වලට දුම්රිය ධාවනය ආරම්භ කළ බවද ඔහු පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon