නඩු භාණ්ඩ කාමරයේ තිබුණු රන් බඩු නැති වුණේ කොහොමද?

  👤  3948 readers have read this article !
By mawbima 2017-11-19

"අනේ මහත්තයෝ, උසාවිය භාරයේ තියෙද්දී ඔය බඩු නැති වෙන්නේ කොහොමද?"
"කොහොම හරි බඩු ටික නැතිවෙලා. තියපු තැන හොයා ගන්න බෑ. දැන් ඉතින් මොකද කරන්නේ? ඊළඟ නඩු දිනය තියෙන්නේ ජනවාරි මාසෙනේ. එතකොට අපි මේ බඩු අරගෙන දෙන්නම්. මොනවා හරි කරන්නම්.

"බඩු ටික ඉතින් අලුතින්ම හදන්න වෙයි නැතිවෙලා නම්. මදැයි හොරු අරගත්තා වගේමයි දැන් බලපුවාම. අපි අසරණ වෙලා ඉද්දී අපිටමයි මෙහෙම වෙන්නේ"
ෆරීනාගේ සහෝදරයා එසේ කියන්න ඇත.
මේ කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇසුණු කතාවකි. පරිස්සමට අරන් තියන්නට දුන් දේ අෑලියාවට ගියා වැනි යැයි පැරැන්නෝ කියූ කතාවකට අලුත් අර්ථයක් එක් කරමින් මේ කතාන්දරය පෙළ ගැසෙයි.

මහවත්ත පාර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අලී නිම්මතුල්ලා ෆරීනා නම් වූ ඇයගේ නිවෙස ඉකුත් මැයි මස 4දා සොරුන් විසින් බිඳ දමා තිබිණි. එහිදී ඇය සතුව තිබූ රුපියල් පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රත්රන් ආභරණ සොරුන් පැහැරගෙන තිබිණි. තම රන් ආභරණ කිසියම් හෝ පුද්ගලයකු හෝ පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බවට නෙත ගැටුණු ෆරීනා වහාම දිව යන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙතය. ඒ ඉකුත් මැයි මස 5දාය.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබයි. එහිදී එම පුද්ගලයා විසින් සොරා ගන්නා ලද රන් ආභරණවලින් පවුම් 22ක් සොයා ගැනීමට පොලිසියට හැකිව තිබිණි.
පොලිසිය විසින් සොයා ගත් රන් භාණ්ඩ පී. ආර්. 2153/2017 වශයෙන් නම් කොට අධිකරණය වෙත භාරදෙනු ලබන්නේ ඉකුත් ජුනි මස 12දාය. සාමාන්‍යයෙන් නඩුවක් පවතින අවස්ථාවක එලෙස පොලිසිය විසින් භාරදෙන නඩු භාණ්ඩ අධිකරණය විසින් භාරගනු ලැබීමෙන් පසු නඩු භාණ්ඩ කාමරය වෙත භාරදෙනු ලබයි. ඒ අනුව අදාළ නඩු භාණ්ඩ වීදුරු බෝතල්වල දමා මහෙස්ත්‍රාත්වරයා වෙත නිරීක්ෂණය සඳහා විවෘත අධිකරණයේදී භාරදුන් පසු එම භාණ්ඩවල වගකීම භාරවන්නේ නඩු භාණ්ඩ කාමරයේ ඇති නඩු භාණ්ඩ භාරකරු වෙතය.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩු භාණ්ඩ කාමර දෙකෙන් දෙවැනි නඩු භාණ්ඩ කාමරය තුළදීය. නියමිත සටහන් යොදා නඩු භාණ්ඩ භාරකරු විසින් මෙම භාණ්ඩ භාරගෙන තිබිණි. පොලිසිය විසින් දෙවතාවකට මෙම භාණ්ඩ නඩු භාණ්ඩ කාමරය වෙත භාරදී ඇත්තේ එම සොර බඩු සොයා ගනු ලැබූ ආකාරයටය.
එය එසේ තිබියදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කිරීමට අධිකරණය පොලිසියට දින නියම කර තිබුණේ ලබන ජනවාරි මාසයේදීය. නඩුව අධිකරණය හමුවේ විභාග වෙමින් තිබූ අතර එහිදී මෙම නඩු භාණ්ඩ තමාගේ ඒවා බවට පැමිණිලිකාරිය විසින්ද හඳුනාගෙන ඇත. නඩුව විභාග වන අවස්ථාවේ පැමිණිලිකාරිය ෆරීනාට තම රන් ආභරණ තම සන්තකයේ තබා ගැනීමට වුවමනා විය. ඇය ඒ සම්බන්ධයෙන් නීතිඥ පිහිට පතමින් අධිකරණයට දැනුම් දෙනු ලැබුවාය. ඒ අනුව අදාළ නඩු භාණ්ඩ පැමිණිලිකාරිය වෙත මුදා හැරීමට අධිකරණ නියෝගයක්ද නිකුත් විය. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියද සමඟ ෆරීනාගේ සහෝදරයා රන් ආභරණ ලබා ගැනීමට නඩු භාණ්ඩ කාමරයට ගියේය.

පවුම් 40ක රත්රන්වලින් පවුම් තිස් තුනක් පමණක් කාමරයේ තිබූ අතර පවුම් පහමාරක් වූ රත්රන් අතුරුදන් වී ඇති බව දැනගන්නට ලැබිණි. ඒ ඉකුත් ඔක්තෝබර් මාසයේ දිනකය.

"ඒ බඩු නැති වෙලා නෑ. කොහේ හරි ඇති. ටිකක් හොයලා බලන්න ඕනි" නඩු භාණ්ඩ කාමරයේ ඇත්තන් එසේ කියා ඇත.
"ඉතින් සර් නැති වෙන්නේ කොහොමද? ටිකක් හොයලා බලන්න" ෆරීනාගේ සහෝදරයා කීවේය.
හොයලා බලලා කෝල් එකක් දෙන්නම්.
ඒ පොලිසියේ පිළිතුරය.
පැය ගණනාවක් නඩු භාණ්ඩ කාමරයේ ඇත්තන් නඩු භාණ්ඩ සොයා ඇත. එහෙත් අවසානයේදී ඔවුන් තීරණයකට එළැඹ තිබේ.
"නඩුව තියෙන්නේ ලබන ජනවාරි මාසෙනේ. ඒ වෙද්දී අපි මේකට මොනවා හරි කරන්නම්. අලුත් බඩු හරි අරගෙන දෙන්නම්. මොනවා කරන්නද? හැම තැනම හෙව්වා. මෙහෙ කොහේ හරි ඇති"

මේ සිද්ධිය මුළු අධිකරණයේම තැන් තැන්වල කසු කුසු ගානා මාතෘකාවක් වී තිබේ. නඩු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් හරි හැටි පිළිතුරක් දී ගත නොහැකි වූ තැන මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත.
ඒ අනුව ඉකුත් 15දා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ දෙවැනි නඩු භාණ්ඩ කාමරයේ සේප්පුවට මුද්‍රා තබනු ලැබීය. එපමණක් ද නොව කබඩ් කිහිපයක්ද එසේ මුද්‍රා තබනු ලැබීය.

මෙම සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. අධිකරණයේ භාරයට දෙන නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ඒවාට වගකිවයුත්තෝ මීට වඩා වගකීමෙන් යුතුව වැඩ කළ යුතු නොවේද? හොරුන්ගෙත් හොරු කම්බා හොරු නොවී අසරණ මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර දීමට මේ ඇත්තෝ මීට වඩා හොඳින් කටයුතු කරන්නේ නම් මේ රට අද කොතැනක තියෙයිද?

තමල් විජයනාම

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon