සුජීව නාමල් ගැටුමේ සුලමුල

  👤  4650 readers have read this article !
By mawbima 2017-11-19

පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ යුතු බවට විමල් වීරවංශ මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව එය දෙබරයට ගැසූ ගලක් මෙන් ප්‍රබලව ඇවිස්සී ගියේය.
පාර්ලිමේන්තුවට භෞතිකව ප්‍රහාරයක් එල්ල කළ යුතු බව විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ ප්‍රකාශයෙන් පෙනී ගියද ඔහු ප්‍රකාශ කළේ රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සම්මත වුවහොත් මෙම පාර්ලිමේන්තුවෙන් වැඩක් නොවන බවයි. එම නිසා පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළද ගැටලුවක් නොවන බව වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ ඔහු කියන ආකාරයට රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වූවොත් පාර්ලිමේන්තුවෙන් වැඩක් නොවන නිසාය.

විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ බෝම්බ කතාවෙන් පසුව දෙවැනි බෝම්බ කතාව ගෙනාවේ ආණ්ඩුවේම ජනතා නියෝජිතයකු වීම විශේෂත්වයකි.
ඒ හිටපු අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ නිසා මේ වන විට විජයදාස රාජපක්ෂ මහතා ආණ්ඩුවේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි.
විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ පසුගිය 13 වැනිදා ලිඛිත භාෂාවෙන්ය.

කතානායක කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමුකරමින් විජයදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේ ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නීතියෙන් බල ශූන්‍ය බව ඉතා ඉක්මනින් ප්‍රකාශ කළ යුතු බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ආරම්භක අවස්ථාවේ එමඟින් පත් කළ මෙහෙයුම් කමිටුව මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් රටේ පොදු මහජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා වන පරිදි සම්පාදනය කරනු ඇතැයි සියලු දෙනා බලාපොරොත්තු වූ බවද විජයදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ජනතාව එම නිගමනයට පැමිණියේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමේදී අනුගමනය කළ ප්‍රජාතන්ත්‍රිකභාවය සහ පාරදෘශ්‍යභාවය පිළිබඳ සෑහීමකට පත්ව සිටි නිසා බවද විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් සිදු වූ විටක එය නිවැරැදි කිරීම සඳහා පියවර ගැනීම එම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙසද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂකයා ලෙසද කතානායකවරයාගේ වගකීම වන අතර ඒ සඳහා කතානායකතුමාට බලයක් තිබෙන බවද විජයදාස රාජපක්ෂ මහතා සිය ලිපිය මඟින් පෙන්වාදී තිබේ.
මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් යොමු කරන විජයදාස රාජපක්ෂ මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ටත් අතිපූජනීය මහ නායක ස්වාමින් වහන්සේ, අති උතුම් කාදිනල් හිමිපාණන් වහන්සේ ඇතුළු පූජකතුමන්ටද යොමු කර තිබේ.

විමල්ගේ බෝම්බ කතාවෙන් පසු විජයදාස රාජපක්ෂ මහතාගේ බෝම්බ ලියුමෙන් පසුව පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ගෙන් ඒ සඳහා එල්ල වූයේ දැඩි අවධානයකි.
විජයදාස රාජපක්ෂ මහතා එවූ ලියුම් බෝම්බය දැන් තියෙන්නේ කතානායක කරු ජයසූරිය මහතා ළඟය. ඊට කරු ජයසූරිය මහතා කුමක් කරාවිද කියා දැන්ම කියන්නට බැරිය.
අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට දින කිහිපයකට පෙර සිටම පාර්ලිමේන්තු නොපැමිණි විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 13 වැනිදා තකහනියක් පාර්ලිමේන්තුවට පැමිණියේ මෙම ලිපිය කතානායකවරයාට භාර දීමටය. ඉන් පසුව විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේ නැත. අඩුම ගණනේ අය - වැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමටවත් විජයදාස රාජපක්ෂ මහතා පැමිණ සිටියේ නැත.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සිදු වූ තවත් එක් සිද්ධියක් ගැන අවධානය යොමු කරන්නේ එමඟින් මුළු මැතිසබයම උණුසුම් වූ නිසාය.
එම සිද්ධිය වූයේ මැතිසබය තුළ සිදු වූ බහින්බස් වීම්ය. මෙම බහින්බස් වීම් නිසා මැතිසබය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතරය.

මෙම මත ගැටුම තුළින් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය මනා ලෙස හොඳින් පෙන්නුම් කෙරිණි.
සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා තම කතාවේදී දැඩි ප්‍රහාරයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් ඒ මහතාගේ සහෝදරයන්ටත් පුත් නාමල් රාජපක්ෂ මහතාටත් එල්ල කළේය.

ඊට නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීමත් සමඟම මැති සබය දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගත්තේය. නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවූයේ පසුගිය 16 වැනිදා අය - වැය දෙවැනිවර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වුණු දිනයේය.
සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විවාදයට සහභාගි වෙමින් සිටින විට රීති ප්‍රශ්නයක් මතුකරන ලද්දේ ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාය.

'අද බැඳුම්කර කොමිසමේදී හෙළිවෙලා තියෙනවා. සුජීව සේනසිංහ ඇමැතිතුමා 47 වතාවක් අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමැතුම් ලබාදීලා තියෙනවා කියලා, යනුවෙන් කාංචන විජේසේකර මන්ත්‍රිවරයා අසනවාත් සමඟම මැති සබය ඝෝෂාකාරී විය. මේ චෝදනාවට සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාට යකා නැග්ගේය.
'ඔයාගේ තාත්තා ගැහුව ගැහිල්ල අපි කතා කරන්නේ නැහැ හරිද? නැව් හතකින් පගාව ගන්තා ඔබතුමාගේ තාත්තා. නිකන් බොරු මඩ ගහන්න එන්න එපා, මඩ ගහන්න බැරි මිනිස්සුන්ට හරිද? යනුවෙන් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා උස් හ¾ඩින් ප්‍රකාශ කෙළේය.

මං ඔබතුමාට අපහාසයක් නෙවි කෙළේ. බැඳුම්කර කොමිසම කියපු දෙයක් මං ඇහුවේ' නැවත විමසා සිටියේ කාංචන විජේසේකර මහතාය.
'කිසිම තැනක එහෙම කතාවක් වෙලා නැහැ. මං ඔබතුමාට මඩ ගැහුවෙත් නැහැ. තාත්තා කරපු දෙයක් කිව්වේ' සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාද නැඟී සිටිමින් යමක් ප්‍රකාශ කරනවාත් සමඟම සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ඊටද ප්‍රතිචාර දැක්වීය.
'කෑගහන්න එපා. ඔයා මගෙ යාළුවා. වාඩි වෙන්න' යනුවෙන් ප්‍රකාශ කළ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේ පසුගිය ආණ්ඩුව යුද හමුදා මූලස්ථානය විකුණූ­ බවයි.
'හමුදා මූලස්ථානය විකුණුවාලු. මෙයාගේ නායකයා අද ගිහිල්ලා එතැන විවෘත කරනවා' යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
"ෂැංග්‍රිලා එක හදන්න දුන්නේ සින්නක්කරවයි. ඔබතුමා ක්‍රිස් සමාගමෙන් කීයක් ගත්තද? ඒ.සී. කාමරවල හිටියේ. සිවිල් නඩු විධාන සංග්‍රහයේ වාක්‍යයක් දන්නේ නැහැ' යළිත් චෝදනාව සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයාගෙනි.

මට අසත්‍ය චෝදනා කරනවා. මට කරන චෝදනාව ඔප්පු කර ගත්තා. හැබැයි ඔබතුමා 47 වතාවක් ඇලෝසියස්ට දුරකතන ඇමැතුම් ලබාදීලා තියෙනවා. ඒ බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසමට දැනුම් දීලා තියෙනවා' යනුවෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා පවසා සිටියේය. ඩේසි ආච්චිට ඉන්න දෙන්නේ නැති ලැජ්ජා නැති තුට්ටු දෙකේ....' ආච්චිගේ මැණික් මල්ලට දුන්නා. ඉතුරු ඒවාට බැසිල් දුන්නා. ගෝඨා දුන්නා අහස් යාත්‍රාවලට. ඔය රතු පාට මේක කුරක්කන් නෙවේ. ඕක බාල්කේ එල්ලාගෙන බෙල්ලේ වැලදාගන්නවා' යනුවෙන් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කෑගසමින් පැවැසුවේය. 'මං අහපු දේට උත්තර දෙන්න. ඔබතුමා 47 වතාවක් ඇලෝසියස්ට කෝල් කළාද? නැද්ද? ඒකට උත්තරයක් දෙන්නකෝ' නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා යළිත් විමසීය. 'මඩ ගහන්න එන්න එපා' සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
ඇලෝසියස්ට 47 වතාවක් කෝල් කළාද නැද්ද? යළිත් විමසුවේ නාමල් රාජපක්ෂ මහතාය.

තාජුඩීන් ඝාතනය ගැනද යම් යම් ප්‍රකාශ සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා කියා සිටියේ නම හෙළිකර චෝදනාව ඉදිරිපත් කරන ලෙසයි. එසේ නොකොට මඩ ගැසීමෙන් වළකින ලෙසද නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.
කිසිදු නමක් හෙළි නොකර සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මාමලා, බාප්පලාගෙන් නම අසා දැනගන්නා ලෙසයි.

ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon