නොලැබෙන යුක්තියට තැවි තැවී නොඉඳ ජීවිතය හැර ගිය මේරි අම්මා

  👤  4159 readers have read this article !
By mawbima 2017-11-19

මේරි අම්මා සියදිවි නසාගෙනය. ඒ පසුගිය බැරි බැරි ගානේ ගාටමින් විත් මහ රෑ බඹ හතක් ගැඹුරු ගෙදර ළිඳට පැන උන්දෑ සිය දිවි නසාගෙන තිබුණාය. කාලයක් තිස්සේ කකුලේ ඉහිළුම් නොදෙන වේදනාවක් තිබුණු බව සැබෑය. එහෙත් මේරි අම්මා ඒ වේදනාව ඉවසා දරා ගත්තාය. ඇයට ඉවසිය නොහැකිව තිබුණේ හිත කීරි ගැහෙන කැක්කුමය. ‍ෙදාස්තර මහත්වරු කීවේ මේරි අම්මා සියදිවි හානි කරගන්නට ඇත්තේ ඇයට "ඩිස්ප්‍රෙෂන්" තිබුණු නිසා විය හැකි බවය. ඒත් මේරි අම්මාට ඩිස්ප්‍රෙස් වුණේ කොහොමදැයි කියන්නට කවුරුත් ඉදිරිපත් වන්නේ නැත. මේරි අම්මා ඩිස්ප්‍රෙස් වීමේ කතාව මේ රටේ මන්ද බුද්ධික අවස්ථාවාදය ජාතියකට විශාදය හැදවූ අකෘතඥ කාලකණ්ණිකමේ කතාව බව කියන්නට කවුරුත් සූදානම් නැත.

මේරි අම්මා සියදිවි හානි කරගන්නට නිමිති සපයා තිබුණේ රටකට සියදිවි හානි කරගැනීමට හේතු සපයන නිමිතිය. මේරි අම්මා නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණිය ය. තාත්තාගේ නැඟණිය ය. සුමිත් විවාහ වුණේ සිය නැන්දණියගේ දියණිය සමඟය. කුඩා අවධියේත් අම්මා කෙනෙක් මෙන් සුමිත්ව ඇති දැඩි කරගෙන තිබුණේ මේරි අම්මාය. සුමිත් මේරි අම්මාගේ දියණිය විවාහ කරගත් පසු ඇය නැවැතී සිටියේ සුමිත්ගේ නිවෙසේය. සිය කුලුඳුල් දරු උපතේදීවත් බිරිය ළඟ නොඉඳ ක්‍රියාන්විත රාජකාරියේ නියැළී සිටි සුමිත්ගේ බිරියට රැකවරණය ලබාදුන්නේ මේරි අම්මාය.

නාවික හමුදාවේ සිදුවුණු නින්දා සහගතම මිනීමැරීම් හා කප්පම් ගැනීම් සිද්ධියකට චෝදනා කර හිටපු බුද්ධි ප්‍රධානී සුමිත් රණසිංහ පුරා මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරගතවය. පැහැර ගැනීම හා කප්පම් ගැනීම පිළිබඳ චෝදනාවලින් ඔහු අධිකරණයෙන් නිදහස්ය. එහෙත් හැමදාම පුවත්පත් වාර්තා කරන්නේ පුද්ගලයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් කප්පම් ගෙන මරා දැමීමේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාරගතව සිටින සුමිත් රණසිංහ ගැනය. අත්තනෝමතික මාධ්‍ය වාර්තාකරණය මේ වන විට සුමිත් රණසිංහ මිනීමරුවෙක් කර අවසන්ය. මේ පසුබිම මේරි අම්මාව දැඩි පීඩනයකට නතු කළ ආකාරය කියන්නේ සුමිත්ගේ බිරිය, මේරි අම්මාගේ දියණිය චන්ද්‍රිකාය.

පසුගිය වකවානුව පුරාම මේරි අම්මා බලා සිට ඇත්තේ අඩුම වශයෙන් සුමිත් රණසිංහට ඇප ලැබී ගෙදර එනතුරුය. සිය දියණිය දරුවන් දෙදෙනා සමඟ හුදකලාව සමාජ අපවාදයන්ට මුහුණ දෙන ආකාරය මේරි අම්මා බලා සිට ඇත්තේ වේදනාවෙන්ය. සුමිත්ගේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත බව පිළිබඳවත් ඇය ඉඳ ඇත්තේ කම්පනයෙන්ය. සුමිත් නාවික හමුදා කමාන්ඩර්වරයෙක් බව සැබෑය. බුද්ධි ප්‍රධානියෙක් බව සැබෑය. චෝදනා කර බන්ධනාගාරගත කරන්නේ කප්පම් ගෙන මිනීමැරීමේ සිද්ධියකටය. ඒත් ඔහුට ඉන්න හිටින්නට හරිහමන් තැනක් නැත. ගෙයි බිත්ති ටික ගොඩනංවා වහලය ගැසුවා පමණය. බිමට සිමෙන්ති දමාවත් නැත. බිත්ති කපරාරුව තබා උළුවහු ජනෙල් ටිකවත් නැත. වහල සෙවිලි කර දුන්නේ රණවිරු අරමුදලය. මේරි අම්මා ගත කර ඇත්තේ මේ අවිනිශ්චිත භාවය පිළිබඳ තිගැස්මෙන්ය. අද බන්ධනාගාරගතව සිටින නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී සුමිත් රණසිංහ සිය පවුල වෙනුවෙන් උපයාගෙන තිබුණේ මේ විශාදය උපදවන පවුල් පරිසරය පමණය. මේරි අම්මාගේ මරණය එහි අස්වැන්නය.
ඒ ඛේදවාචකයක් බඳු සිදුවීම ගැන අපට කියන්නේ සුමිත්ගේ බිරිය චන්ද්‍රිකාය.

"අම්මා ගොඩක් කල්පනා කරමින් හිටියේ. සුමිත් පොඩි දවස්වල ඉඳලා අම්මට ආදරෙයි. සුමිත් ඇරස්ට් කරපු එක අම්මාට දරා ගන්න අමාරු වුණා. ඒ එක්ක දරුවෝ දෙන්නත් එක්ක මං විඳින දුක ගැන අම්මා කල්පනා කළා. මගේ යාළුවෝ එක්කත් අම්මා මේ ගැන කියලා තිබුණා."

"දරුවෝ දෙන්නා බලාගත්තේ අම්මා. එයාට දරුවෝ ගොඩක් ආදරෙයි. එදා රෑ අම්මා කිසිම අමුත්තක් නැතිව හිටියා. අපි කෑම කාලා නිදාගන්න ගියේ රෑ 9ට විතර. පාන්දර 2ට විතර මට ඇහැරුණා. ගෙයි වටේ ලයිට් දාලා. ලොකු දුව සමහර වෙලාවට එහෙම ලයිට් දානවා. මං හිතුවා එයා ලයිට් දාන්න ඇති කියලා. ලයිට් ටික ඕෆ් කරන්න හදනකොට ඉස්සරහ ‍ෙදාරත් අඩවල් වෙලා. එකපාරටම මට හිතුණේ හොරෙක් ගෙට ඇවිත් කියලා. ගේ ඇතුළේ බලන කොට සල්ලිවත් සුමිත්ගේ බඩු මුට්ටුවත් අඩු නෑ. ඒත් මට හිතුණේ නෑ අම්මා ගෙයින් පිටවෙලා කියලා. මං ‍ෙදාර වහලා නිදිය ගත්තා. පාන්දර උයන්න නැඟිටිනකොට අම්මා සාමාන්‍යයෙන් නැඟිටිනවා. එයා නැඟිට්ටේ නැත්තේ ඇයි කියලා හිතන ගමන් මං වැඩ කරමින් හිටියේ. ඒ අතරේ දුව නැඟිට්ටා. දුව නැඟිටලා අම්මාගේ කාමරේ ලයිට් එක දාලා කිව්වා අම්මේ අත්තම්මා කාමරේ නෑ කියලා"
"මට අමුත්තක් දැනුණා. දරුවෝ දෙන්නයි මායි එළියට දිවුවා. පුංචි දුව කෑ ගැහුවා අම්මේ....ආච්චිගෙ පුටුව ළිඳ ළඟ කියලා. මාව කැරකෙන්න ගත්තා. මං පුළුවන් හයියෙන් කෑ ගැහුවා. වටේ පිටේ කට්ටියම දුවගෙන ආවා. අල්ලපු ගෙදර මල්ලි දිව්වා ළිඳ ළඟට. ළිඳ බඹ 4කට වඩා ගැඹුරුයි. මල්ලි ළිඳ ඇතුළේ බලලා කිව්වා අම්මා ළිඳ ඇතුළේ ඉන්නවා කියලා"
අෑ ඉකිගසන්නට වූවාය. මේරි අම්මාගේ අවසන් කටයුතු පසුගිය බදාදා (15දා) සිදු කෙරිණි. මිනිය තබන්නටත් සුමිත්ගේ නිවෙසේ හරිහමන් පිළිවෙළක් නැත. ඒ නිසා සිරුර තබා තිබුණේ බිරියගේ සොයුරාගේ නිවෙසෙහිය. සිය නැන්දණියගේ මරණය දකින්නට ඇයට අවසන් ගෞරව දක්වන්නට මළ ගෙදර පැමිණීම සඳහා සුමිත්ට අවසර ලැබුණේ නැත. ඔහු එපමණම දරුණු අපරාධකරුවෙක් කර තිබුණේය.

අප මේ ලියන්නේ රට වෙනුවෙන් සිය ජීවිතයට මෙපිට හැම දේම කැප කළ මනුෂ්‍යයෙක් ගැනය. සුමිත් රණසිංහ යනු වර්ෂ 2006න් පසු එල්. ටී. ටී. ඊ. යේ නැඟෙනහිර කොටි කඳවුරු අතරට වැදී ඔවුන්ට මාරාන්තික ප්‍රහාර මාලාවක් එල්ල කර දියත් කළ නාවික මෙහෙයුමේ ප්‍රධානම චරිතයකි. එල්ටීටීඊයේ මාරක ප්‍රහාරයකට ලක්ව 60%ක් පමණ ආබාධිත තත්ත්වයට පත්වීමෙන් පසුත් නාවික හමුදාවේ ක්‍රියාන්විතය අත් නොහළ නිලධාරියෙකි.

එතැන් සිට නැඟෙනහිර නාවික බුද්ධි මෙහෙයුම් ක්ෂේත්‍රය ප්‍රායෝගික කළ විශිෂ්ට බුද්ධි සම්පත වූයේ ඔහුය. යුද සමයේදී ඔහු කටයුතු කළේ නැඟෙනහිර බුද්ධි ප්‍රධානියා ලෙසය. ජාත්‍යන්තර මට්ටමේ පවතින බව කියූ පොට්ටුඅම්මාන්ගේ බුද්ධි මෙහෙයුම් තුළට ස්වකීය බුද්ධි සම්පත් යොදවා එම ක්‍රියාන්විතයන් තමන් නතු කරගත් ඔහුගේ බුද්ධි මෙහෙයුම් පිළිබඳව වෙනම ලියා තැබිය යුතු පරිච්ඡේදයක් තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ පුපුරුවා හැර වර්ග කිලෝමීටරයක් තුළ ඇති සියලු දේ විනාශ කිරීමේ අරමුණින් සූදානම් කර තිබුණු කිලෝ 1200ක් පුපුරන ද්‍රව්‍ය සහිත ලංකාවෙන් හමුවූ බිහිසුණුම බෝම්බ ලොරිය මරාගෙන මැරෙන කොටි සාමාජිකයාත් සමඟ වර්ෂ 2007 ජුනි මාසයේ අත්අඩංගුවට ගන්නේ සුමිත් රණසිංහගේ බුද්ධි මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. මේ බිහිසුණු අපරාධය සැලසුම් කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා කනගරත්නම් ජීවරත්නම්ය. ත්‍රිකුණාමලය අම්බවේලිපුරම්වලට මාළු ව්‍යාපාරිකයකු මෙන් පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මේ කළු කොටියා පසුගිය නොවැම්බර් 9දා නිදහස් විය. සුමිත් රණසිංහලා සමාජ මතවාදය ගොඩනඟා අපරාධකරුවන් සේ තීන්දු කර සිය සමීප ඥාතියකුගේ මළ ගෙදරකටවත් සහභාගි නොකරන කොන්දේසි පිට බන්ධනාගාරගතවය. හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වූත් මේ රටේ බිහිවූ විශිෂ්ටතම නාවික නිලධාරියෙක් වූත් කොමදෝරු ඩී. කේ. පී. දසනායක හමුදා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත යවා ඇත්තේය. අප වරද්දා ගන්නා තැන්වල ප්‍රමාණය කොතෙක්දැයි තවම අපට වැටහී නැත.

අධිකරණය හමුවේ සියල්ල සාධාරණව විසඳෙනු ඇතැයි විශ්වාස කරන්නේ නම් දැනට මේ සමාජයේ ඉහළ තලවල හිඳිනා බොහෝ දෙනෙක් සිටිය යුත්තේ වැලිකඩය. නාවික හමුදා ඉතිහාසයේ නින්දිතම අපරාධය වූ පුද්ගලයන් 11ක් පැහැරගෙන අතුරුදන් කිරීම සම්බන්ධව ඇසෙන නඩුව දෙස අප බලා සිටිය යුත්තේ ඒ අවබෝධය සහිතවය. ඩී. කේ. පී. දසනායකලා නැඟෙනහිර හිටපු බුද්ධි ප්‍රධානී සුමිත් රණසිංහලා රට වෙනුවෙන් කළ කැපකිරීම් ඉතිහාසයේ යළිත් පුනරුච්ඡාරණය කර තේරුමක් නැත. නඩුවේ ප්‍රධාන සැකකරු ඇප පිට නිදහස්ව ඇති මොහොතක මේ නඩුව තුළ ඔවුන්ට චෝදනා ගොනුවන ආකාරය පිළිබඳව කිසිම මාධ්‍යයකින් සාධාරණ විමසීමක් කරන්නේ නැත. මාධ්‍ය ප්‍රචාරණයට අනුව දැන් සුමිත් රණසිංහලා මිනීමරු, කප්පම්කාර පාදඩයන්ය.

මේවා දකිමින් මේරි අම්මලා මෙතුවක් කල් සියදිවි හානි කර නොගෙන ජීවත් වූවා පුදුමය.
රුචිර ජයදේව

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon