රවි ඉන්න ඕනෑ පසු පෙළේ නොවෙයි වැලිකඩ බන්ධනාගාරේ

  👤  4085 readers have read this article !
By mawbima 2017-11-19

ඡන්දය තියයිද?
ඡන්දය තියනවා කියලා ගැසට් පත්‍රයක් නිකුත් කරලා තිබුණත් පසුගියදා නඩුවක් දාලා කල් දාන්න කියලා. බලාගෙන යද්දී නඩුව දාලා තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගේ පාර්ශ්වයෙන්. ඩිලාන් පෙරේරා අමාත්‍යවරයාගේ ගෝලයකුයි, දයාසිරි ඇමැතිවරයාගේ ගෝලයකුයි, මහනුවර පළාත් සභා මන්ත්‍රි තිළිණ තෙන්නකෝන් ඇමැතිවරයාගේ ගෝලයො දෙන්නෙකුයි තමයි මේ නඩුව දාලා

තියෙන්නේ. මේකෙන් පේන්නේ ඡන්දය නැවත කල් යන බවයි.
මොකද කරන්නේ? එකතු වෙනවද? වෙනම යනවද?

සිංහලෙන් කතාවක් තියනවානේ රෑ වැටුණ වළේ දවල් වැටෙන්නේ නෑ කියලා. දෙසැරයක් අපි ඔය ලණුව කෑවා. ජනාධිපතිවරණයේදී දන්නෙම නැතිව මෛත්‍රිපාල මහත්තයා ගියා. මහ මැතිවරණයේදී අපිට එකට ඉල්ලමු කියලා අන්තිමට ලේකම්වරු දෙන්නා මාරු කරලා ලියුමකුත් නිකුත් කළානේ දින්නත් අගමැතිකම මහින්ද රාජපක්‍ෂ මහත්තයාට දෙන්නෙ නෑ කියලා. ඉතින් මේ සැරෙත් මං දන්නවා මේ ගොල්ලන් ශ්‍රී ලනිප බෝඩ් ලෑල්ලක් ගහගෙන ගියාට ඡන්දය දිනන්න බෑ. ඡන්දෙට මහින්ද රාජපක්‍ෂ මහත්තයා ආපසු එක්කහු කරගෙන ඒ ලණුවම දීලා ඒගොල්ලන් යන තැනකටම යන්න තමයි මේ බලන්නේ. අපි ඉන්නෙ පැදුරෙ. පැදුරෙන් බිමට වැටෙන්න අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඔය ඇඳන් උඩ, ලොකු පුටුවල ඉන්න මිනිසුන්ට තමයි ප්‍රශ්නෙ තියෙන්නේ. අපිට එකතු වෙන්න කිසිම වුවමනාවකුත් නෑ. අපිට කිසිම වාසියකුත් නෑ. ඒගොල්ලන් එක්ක එකතු වුණොත් අනිවාර්යයෙන් අපේ ගමේ ඡන්දදායකයා අපිට ඡන්දෙ දෙන්නේ නැති තත්ත්වයක් ඇතිවෙනවා.

පාක්‍ෂිකයා කලකිරිලා කියලද ඔබ කියන්නෙ?
ඔව්. ඉතාම පැහැදිලිවම මෛත්‍රිපාල මහත්තයා මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ සාටකේ එල්ලිලා පාර්ලිමේන්තු ගිහින් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන ඇමැතිවරු ගැන කලකිරීමක් පාක්‍ෂිකයන්ට තියෙනවා. මගේ පෞද්ගලික මතය නම් කිසිසේත් එකතු වෙන්න අවශ්‍ය නෑ. පැරදුණත්, දිනුවත් කමක් නෑ. තනිව යන්න ඕනෑ.
ඔබත් ශ්‍රී ලනිප සාමාජිකයෙක්. මොකක්ද ඒකාබද්ධ විපක්‍ෂයයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයයි සමඟ දැන් තියෙන සම්බන්ධය?
මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ සම්මුතිවාදී රජය පිහිටුවන කොට අපි සියලු දෙනාත් සමඟ සාකච්ඡා කළානේ. ආණ්ඩු පක්‍ෂයට එක්කහු වෙන අයට එකතු වෙන්න පුළුවන්. විපක්‍ෂයේ ඉන්න කැමැති අයට විපක්‍ෂයේ ඉඳලා අදහස් පළ කරන්න පුළුවන් කියලා. දැන් සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඒක. තනතුරු, සංවිධායක ධුර වෙනස් කළා. මගේ සංවිධායක ධුරයත් අහිමි කළා. මගේ පියා තමයි ශ්‍රී ලනිපයේ 1994 චන්ද්‍රිකා මැතිනියට ජයග්‍රහණය කරන්න ජාතික සංවිධායක ලෙස විශාල කැප කිරීමක් කළේ. අද අමරවීර ඇමැතිතුමාට, දුමින්ද දිසානායක ඇමැතිතුමාට සංවිධායක ධුර දුන්නෙ. එතකොට මගේ පියා. අද ඒගොල්ලෝ මගේ ශ්‍රී ලනිප සංවිධායක ධුරය අයින් කරනවා. ඉතින් මේක විහිළුවක්. ශ්‍රී ලනිප පාක්‍ෂිකයෝ ගිහින් ඡන්දෙ දුන්නෙ රනිල් වික්‍රමසිංහට ආණ්ඩු කරන්න දෙන්න නෙමේනේ.
ඔබගේ පියා මේ මොහොතේ හිටියා නම් මෛත්‍රිපාල මහතා සමඟ ඉඳියිද? මහින්ද මහත්තයා සමඟ ඉඳියිද?

ඉතාම හොඳ ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම පියා ජීවතුන් අතර හිටියා නම් මෛත්‍රිපාල මහත්තයා ශ්‍රී ලනිපය දාලා යන එකක් නෑ. එතුමා හිටියා නම් මේ තත්ත්වය ඇති නොවෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. මොකද මෛත්‍රිපාල මහත්තයා මගෙ පියාගේ උප ඇමැති වශයෙනුත්, මිත්‍රයෙක් වශයෙනුත් ලොකු සම්බන්ධතාවක් තිබ්බා. ඒ නිසා එතුමන්ලා කතා කරලා මේ ගැන තීන්දු ගන්න ඉඩ තිබ්බා. මගේ පියා ඒ වගේ තත්ත්වයකට කොහෙත්ම ඉඩදෙන එකක් නෑ
ඔබ කිව්වා මෛත්‍රිපාල සිරිසේන මහතා කිව්වා කියලා ආණ්ඩුවට එකතු වෙන අයට එකතු වෙන්න පුළුවන්. විපක්‍ෂයේ ඉන්න අයට විපක්‍ෂයේ අසුන් ගත හැකියි කියලා. මන්ත්‍රිකම නැතිවෙයි කියලා හංගලා ගහන්නද මේ යන්නේ?

මහින්ද මහත්තයා එක්ක ඉන්න අපේ අයට මන්ත්‍රිකම තිබුණත්, නැතිවුණත් අපිට මිනිස්සු ඡන්ද දුන්නේ යම් ප්‍රතිපත්තියක් ඇතිවනේ. මම පෞද්ගලිකව විශ්වාස කරනවා මා මෛත්‍රිපාල සිරිසේන මහත්තයට වැඩිය හොඳ ශ්‍රී ලනිප පාක්‍ෂිකයෙක් කියලා. ඒක කාටවත් නෑ කියන්න බෑනේ. මං කවදාවත් පක්‍ෂය දාලා ගිහිල්ලවත්, පක්‍ෂයට විරුද්ධව වචනයක්වත් කතා කරලා නෑනේ.

ඒත් ඔබේ සංවිධායක ධුර අහිමි වෙනවා මොකක්ද ඇත්තටම මේකට හේතුව?
මෛත්‍රිපාල සිරිසේන මහත්තයා වටේ ඉන්න කට්ටිය බලයේ රැඳී සිටීම තමයි වුවමනාව.
ඔවුන්ට බලයේ රැඳී ඉන්න නම් බහුතරයත් වැදගත්?
ඒක තමයි ඉවත් කරලා ඉවර වෙලා කියනවා අපිත් එක්ක ඇවිත් එක්කහු වෙන්න කියලා.
ඉතින් ඔබලාට මෛත්‍රි පිල සමඟ එකතු වෙන්න බැරි ඇයි?

පරස්පර විරෝධී අදහස්නෙ තියෙන්නේ. අද කියනවා එකතු වෙන්න කියලා. පහුවදාට මූණ බලන්න බැරි වැඩක් කරනවා.
ඒ කියන්නේ මධ්‍යම කාරක සභාවේදී එකක් කියලා ඉන් පිටත තව එකක් කරනවා කියලද?

ශ්‍රී ලනිපය කියන ඔය පක්‍ෂයේ තීන්දු තීරණ ගන්න වගකීමෙන් කටයුතු කරන්න කෙනෙක් නෑනේ. එක්කෙනෙක් ඇවිල්ලා එකක් කියනවා. අනෙක් මිනිහා උදේ ඇවිත් ඒක නෑ කියනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාට තරම් පෞද්ගලිකව ගහලා නෑ මොන දේශපාලනඥයකුටවත්. ලංකා දේශපාලන ඉතිහාසයේ. එතුමගේ නෝනට, ළමයි තුන්දෙනාට, අයියයි, මල්ලියි දෙගොල්ලටම ගැහුවා. ලේකම්වරු දෙන්නම හිරේ දැම්මා. ඔයිට වැඩිය දේශපාලන පළිගැනීම් අර මුගාබේවත් කරලා නැතිව ඇති. ජේ.ආර්. ජයවර්ධන මහත්තයාවත් අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඒ ගෞරවය දුන්නා. අද මේ පාර්ලිමේන්තුව ඉතාම පහත් තත්ත්වයට වැටිලා තියෙනවා.
ආණ්ඩුවෙන් ඒකාබද්ධයට කිහිපදෙනෙක් එන්න ඉන්නවා කියනවා. කියමනක් විතරක්ද මේ?

කිහිප දෙනෙක් එනවා කියලා තියෙනවා. තවම අපිට විශ්වාසයක් නෑ. ඒගොල්ලන් ඉතින් ආවත් නැතත් අනිවාර්යයෙන් මේ ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන්.
හැබැයි මෙවැනි පොඩි ඡන්දවලදී වාසිය එන්නෙ කොහොමත් පවතින ආණ්ඩුවට නේද?
උතුර නැඟෙනහිර හැරෙන්න අනෙක් සියලු ප්‍රදේශ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපිට විශ්වාසයි.
නමුත් උතුර නැඟෙනහිරත් යම් අර්බුද හටගෙන තියෙනවා?
ඔව්. ඒකත් කෑලි කෑලිවලට කැඩිලා තියෙන්නේ. ආණ්ඩුවට මේ වෙලාවේ ප්‍රශ්න ගොඩයි.
රටේ ජනාධිපති කියන දේ අගමැති දන්නෙ නෑ. අගමැති කියන දේ ජනාධිපති දන්නෙ නෑ. අගමැති මැලේසියාවල එයාර් ඒෂියා ගැන කතා කරනවා. හැබැයි ජනාධිපති දන්නේ නෑ කියනවා. මොකක්ද මේ හුටපටය?

ඇත්තම තත්ත්වය තමයි සිරිසේන මහත්තයට ඕන අපි එක්කහු කරගෙන මැතිවරණයට යන්න. ඒක තීරණය එනකන් එතුමා මැතිවරණය දිග් ගහනවා. එයා දන්නවා මේ වෙලාවේ මැතිවරණයකට ගියොත් පොදුජන පෙරමුණ සහිත සන්ධානය හෝ එක්සත් ජාතික පක්‍ෂය සහිත සන්ධානය දෙකෙන් එකක් දිනනවා කියලා. එතකොට ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් සමහර විට තොණ්ඩමන්ගෙ, දිගම්බරන් මහත්තයාලගේ පක්‍ෂය වෙන්න පුළුවන්, මුස්ලිම් කොංග්‍රසය වෙන්න පුළුවන් ඊටත් පස්සේ පස් හය වන ස්ථානයට මෛත්‍රිපාල මහත්තයා පත් වුණොත් මොකක්ද තියෙන තත්ත්වය? ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න වෙන්නේ.
ඡන්දය කල්දාන්න ආපු අතුරු තහනම් නියෝගයට ඒකාබද්ධය මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය?

අපිට ඕන ඡන්දය තියන්න. අපි ඒ ගැන තීරණයක් ගන්නවා. ජවිපෙ අනුර කුමාර දිසානායක මහත්තයා මට හම්බ වුණා. ඔහු කියන්නෙත් ඡන්දයක් කරනවා නම් අපිත් ඕගොල්ලො සමඟ මේ සම්බන්ධ එකතු වෙනවා කියලා.

බැඳුම්කර සම්බන්ධ ගනුදෙනුවට අදාළ අය හරි තැනට කොටු කරන්න ඒකාබද්ධ විපක්‍ෂය මැදිහත් වෙන ප්‍රමාණය මදියි කිව්වොත්?
ඒ ගැන කතානොකරම බෑ. හැබැයි අපිට වෙලා තියෙන්නේ මේ අධිකරණ ක්ෂේතය තුළ කිසිම විශ්වාසයක් නෑ. එක දවසක මිනිහෙක් අත්අඩංගුවට ගන්නවා. කොටින්ම කිව්වොත් මගේ මල්ලිත් අත්අඩංගුවට ගත්තා. අන්තිමට සිද්ධ වුණේ අත්අඩංගුවට ගත්ත හේතුව ඒක නෙවෙයි කියලා කියන්න. උත්තරය අධිකරණයම දිය යුතුයි. අධිකරණය කිසිම සාධාරණත්වයක් නෑ අද.

අධිකරණය සාධාරණ නෑ කියලා මෙවැනි මහා පරිමාණ ගනුදෙනුවක් සම්බන්ධයෙන් නිහඬව ඉඳීම සාධාරණද?
කිසිසේත්ම අත් හරින්න බෑ. අද සිරිසේන මහත්තයා කියනවා අගමැතිතුමා අගමැතිකමින් අයින් වෙලා කොමිසමට සාක්‍ෂි දෙන්න කියලා. අපි ඒක පිළිගන්නවා. මෙහි වගකීම ජනාධිපතිතුමත් ගන්න ඕන. ජනාධිපතිතුමානේ අගමැති පත් කළෙත් 40 දෙනෙක් තියාගෙන 2015. දි.මු. ජයරත්න මහත්තයා අස්වෙන්නත් කලින්නෙ මේ මිනිහා පත්කළේ. අද අය-වැය බලන්න. ඕනෑ ඊපචදජඥචජබඪධද එකකට රුපියල් 1000කට ශත 20ක් ගහනවා. 2016 ටි්‍රලියන 93ක් පරිහරණය වෙලා තියෙනවා. ලංකාවේ සියලු බැංකුවල ගණන් හදලා බැලුවම බිලියන 18.6ක්. බැංකුවත් ආණ්ඩුවට හැම වසරකම ගෙවන්න ඕන. එතකොට බැංකුත් වහලා දාන්න වැඩක් මේ. ලෝකෙ ඕනෑ රටකට ණය දෙන්න සීලින් එකක් තියෙනවා. අපිට දැන් මෙතැනින් ණය ගන්න වෙලා.

හැබැයි මේ තැනට පත් වුණේ ඔබලාගේ පාලන සමයෙ කියලා සෘජු චෝදනාවක් තියෙනවා.
අපි ණය ගත්තා. අපේ කාලේ ණය ගත්තේ නෑ කියන්න බෑ. අපි ණය ගත්තෙ පෝට් සිටිය හදන්න. හම්බන්තොට වරාය හදන්න. මත්තල ගුවන්තොටුපොළ හදන්න. නොරොච්චෝලෙ බලාගාරෙ හදන්න. අපි මේ ණය අරන් මේවා හදලා මේවගෙන් එන ආදායමෙන් මේ ණය ගෙවන්න සැලසුම් කළේ. මේ අය ආපු ගමන් මේ සියල්ල නැවැත්තුවා. පැවැරුවා. කෙළින්ම හිරවුණා. ඉතින් ඒ ණය ගෙවන්න ඕනා. මේ අය රෑ බීලා උදේ නැඟිටලා කල්පනා කරන්නෙ ඊළඟට මොකද කරන්නෙ කියලා.
බැඳුම්කර ගනුදෙනුවෙන් අපි මේ ප්‍රශ්නය අරම්භ කළේ. කොමිසමේදී රවි කරුණානායක මන්ත්‍රිවරයා සෘජුවම චෝදනා ලබනවා. ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලට ඔබලා නොයන්නෙ?

මේක ලියන්න කරුණාකරලා. රවි කරුණානායක මුදල් ඇමැති හැටියට ඇමැතිකමෙන් අයින්වෙලා පසුපෙළේ මන්ත්‍රිවරයෙක් විදියට නෙමේ ඉන්න ඕනේ. වැලිකඩ බන්ධනාගාරේ.
ඉතින් පක්ෂයක් ලෙස ඔබලාට නඩු මඟට යන්න බැරි ඇයි?

අපි අනිවාර්යයෙන් නඩුවක් පවරනවා. ඔක්කොම ලෑස්ති කරමින් ඉන්නෙ. ප්‍රශ්නය තියෙන්නේ මැතිවරණය දෙනකම් ඉන්නෙ. ඔතැනදී රවි කරුණානායක මන්ත්‍රිවරයා විතරක් නෙමේ අගමැති ඉන්නවා. අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, මලික් සමරවික්‍රම දිගටම යනවා වැලක්. කවදාහරි මේකට පිළිතුරු ලැබෙයිද?
යූ.එන්.පි.ය නව මහාධිකරණ 3ක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් යනවා

ඡන්දෙට ඉස්සරවෙලා අපේ මන්ත්‍රිවරු කිහිප දෙනෙක්ම හරි අච්චු කරන්න තියෙන බවක් පේන්නෙ. දේශපාලන පළිගැනීම් සම්බන්ධ ඉලක්කගත දෙයක්.
හැබැයි බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට කොමිසමක් පත් කළා. ඒක සුබවාදී විදියට දකින්නෙ නැද්ද?
ඒක හොඳ වැඩක්. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ. රවි කරුණානායක මහත්තයාට විරුද්ධ නඩුවට සාක්ෂි දුන්නෙ එයාගෙ නෝනා. ඒක අධිකරණයට වලංගු නෑ. අද වෙද්දි ඇමැතිකමින් අයින්වෙලා රවි කරුණානායක මහත්තයා පසුපෙළේ මන්ත්‍රිවරයෙක් විදියට ඉන්නේ කාර්, බාර් ඔක්කොම වරප්‍රසාද ටික ඒ විදියටම භුක්ති විඳිමින්. නඩුවලට කාරණය වෙච්ච ගෙදරම තමයි තව ඉන්නෙ.

ඔබ මේ තරම් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ ඔහු සමඟ ඥාති සම්බන්ධයක් ගොඩනඟාගන්න යන හින්දාද?
අනේ නෑ. මගේ පියයි, මහින්ද රාජපක්ෂ මහත්තයායි හොඳ යාළුවෝ ඒ දවස්වල ඉඳන්ම. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුණු දවසේ ඔහු ළඟ හිටියේ මමයි යෝෂිතයි විතරයි. ඕක තමයි ඇත්ත. මහින්ද මහත්තයා අන්තිමට තංගල්ලට යනකොට ගෙදර ඉල්ලුවනේ. අපි අර කසළ දාන කළු බෑග් තියෙන්නෙ ඕකට තමයි රාජපක්ෂ මහත්තයාගේ ඇඳුම් ටික පැක් කරලා අර රෝසා බස් එකේ දැම්මෙ මමයි යෝෂිතයි. මහින්ද මහත්තයාගෙ පුතයි මගේ දුවයි බැන්දත් නැතත් ඒක අදාළ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්ති අනුව එතුමා කරලා තියෙන වැරැදි මං එතුමාට කෙළින්ම කියලා තියෙනවා. මං එතුමාට කිව්වා සර් ආයෙ මෙහෙම වුණොත් මං අයින් වෙනවා කියලා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් ඔබේ ඥාතිනේ.

ඔව්, එතුමිය මගේ අක්කා.
මෙහෙම ඇහුවොත්, ඉස්සරවෙලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකුවෙලාද කියලා.
නෑ. චන්ද්‍රිකා මැතිනිය පෞද්ගලිකව මළ ගෙදරකදි, මඟුල් ගෙදරකදි හම්බ වුණොත් අපි හොඳට කතා කරනවා. හැබැයි එතුමිය ගත්තු සමහර තීරණ එතුමියගේ පියාට අගෞරවයක්. මහින්ද රාජපක්ෂ මහත්තයාට වඩා මං සිරිමාවෝ මැතිනියට ගරු කරනවා. හැබැයි මැතිනියගෙ දුව කියලා මගෙ අක්කා කියලා එතුමිය කියන කියන දේට වැඩ කරන්න බෑ.

අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යද?
කොහෙත්ම අවශ්‍ය නෑ.
ඇයි ඒ. ඔබලාගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙම තිබුණා ව්‍යවස්ථාවේ සංශෝධන අවශ්‍යයි කියලා.
ඔව්. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වා 13න් ඔබ්බට ගිහින් කතා කරන්න කැමැතියි කියලා. මං ඒකටත් විරුද්ධයි. 13 වැනි සංශෝධනයක් කොහොමද ගෙනාවේ. 13 වැනි සංශෝධනය ඉන්දියාවට ඕන හින්දා ව්‍යවස්ථාවට එබුවා ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙ කාලෙ. 13 වැනි සංශෝධනයක් අපේ රටට කිසිසේත්ම අවශ්‍ය නෑ. අපේ රටේ මිනිස්සු මේ සංශෝධනය ගේන්න කලින් හොඳින් ජීවත් වුණා.

එතකොට 18 සංශෝධනය හරහා මහින්ද රාජපක්ෂ මහතා තුන් පාරක් ඉල්ලන්න ඉඩ හදාගත් එක අනුමත කරනවාද?
මං ඒකත් අනුමත කරන්නෙත් නෑ.
විධායක ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා ඔබලාත් කිව්වා.
විධායක ජනපති ධුරය අහෝසි කරලා ෆෙඩරල් සිස්ටම් එක රටෙන් අයින් කරන්න ඕනෑ. අපිට ෆෙඩරල් සිස්ටම් එකක් කොහෙත්ම අවශ්‍ය නෑ.
මොකක්ද මේ ඒකාබද්ධ විපක්ෂයයි, යූ.එන්.පී. එකයි අතර තියෙනවා කියන ඩීල් එක?
මොන ඩීල්ද. අපේ කිසි ඩීල් එකක් නෑ.

හැබැයි සෘජුවම චෝදනාවක් එනවා නේද විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධ ගැටලුවේදී අග්‍රාමාත්‍යවරයා මැදිහත් වුණා කියලා?
මොන උදවුද. හිරේ හිටියනේ වීරවංශ මහත්තයා මාස 3කට ළංවෙන්න. අපිට හිරිහැර කරලා අපි බිත්තියට තියලා ගහනකොට මොන ඩීල්ද? මහින්ද මහත්තයාට කියනවා යූ.එන්.පී. එකත් එක්කත් ඩීල් දානවා මෛත්‍රිපාල මහත්තයා එක්කත් ඩීල් දානවා කියලා. මොන ඩීල්ද?
ඒකාබද්ධෙ, අවසන් තුරුම්පුව බලය ලබා ගැනීමද?

කොහෙත්ම නෑ. අපිට ඕනෑ මේ රටට සංවර්ධනය. මේ රට මොන දිශාවටද අරන් ගියේ. එක අතකින් 2015 පැරදුණ එකත් හොඳයි කියලා හිතෙනවා. මොකද අපිටත් හරියට තේරුණ අපේ තියෙන වැරැදි ටික. අපි සමඟ හිටපු අය කවුද නැද්ද කියලා තේරුම් ගත්තා. දැන් අපි දන්නවා ඒ වැරැදි ටිකත් හදාගෙන රටේ තියෙන ඉතිරි ප්‍රශ්න ටිකත් විස¼දාගෙන ඉදිරියට යන විදිය. අපිට දැන් වැඩපිළිවෙළක් තියෙනවා. ඒක ශුද්ධ වශයෙන්ම ඉෂ්ට කරගන්න අපට බලය ඕනෑ.
දැන් ඒකාබද්ධෙත් තුන්කොන් සටනක වගේ. රාජපක්ෂලා තුන් දෙනෙක් නායකත්වය බලාගෙන ඉන්නවා. එල්ල වී තිබුණු පවුල් පාලන චෝදනාව නෙවෙයිද මේ නැවත වෙන්න යන්නෙ?

දැන් බලන්න බැසිල් රාජපක්ෂ මහත්තයාට එල්ල වෙන චෝදනා. එතුමාගෙ වැරැදි තියෙන්න ඇති. මං නෑ කියන්නෙ නෑ. හැබැයි ඔහු හිටිය හින්දා තමයි මේ රටේ සංවර්ධනය කරන්න හැකිවුණේ. ඉතාම හොඳ පරිපාලන නිලධාරියෙක්. මිනිසුන්ගෙන් වැඩගන්න දන්නවා. පොඩි පොඩි දුර්වලකම් තිබුණා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා හින්දා තමයි රටේ යුද්ධය නිම කරන්න හැකි වුණේ. ඒ අයගෙ වැරැදි තියෙන්න ඇති. ඔබ ජනපතිනිය වුණා නම් රටේ ලොකු ප්‍රශ්නයක් තිබුණා නම් ඔබට කවුද ඉස්සරවෙලාම විශ්වාස. පවුලෙ කෙනෙක්නෙ. ඒ අවස්ථාවෙදි ඒක පාවිච්චි වුණා. නැවත ඒ තත්ත්වය ඇති වෙන්නෙ නෑ.

ඉස්සර අපි මිනිස්සු ගෙනාවේ බස් දාලානේ. දැන් එහෙම නෑ කියලද කියන්නෙ
නෑ. දැන් මිනිස්සු ස්වේච්ඡාවෙන් එන්නේ. උදාහරණයක් ලෙස මැතිවරණ නාම යෝජනා බලන්න. කොට්ඨාසයට තරග කරන්න පුළුවන් එක්කෙනෙක්. එක කොට්ඨාසයකට සමහර ප්‍රදේශවල 10ක් විතර ඉන්නවා. අපිට මිනිස්සු නැත්නම් කොහොමද එහෙම වෙන්නෙ. ශ්‍රීලනිපයට තරග කරන්න කවුරුත් හොයාගන්න බැරිව ඉන්නෙ?

අනුරාධා හේරත්
ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon