ඉසිවර දැනුමැති ප¾ඩිවර බලගල්ලේ

  👤  3929 readers have read this article !
By mawbima 2017-11-19

මේ ලිපියේ අරමුණ වනුයේ වාග්විද්‍යා විෂය ක්ෂේත්‍රයට මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාගෙන් සැලැසුණු අද්විතීය සේවය ඇගයීමට ලක් කිරීමයි. වාග්විද්‍යා විෂය ගැන පමණක් නොව සාහිත්‍යය, ඉතිහාසය හා ශිලාලේඛන, විචාරය, ව්‍යාකරණය, ග්‍රන්ථ පරිවර්තනය, සංස්කෘත, පාලි හා බුදු දහම ගැනද ඔහු සතුව ඇත්තේ උත්කෘෂ්ට දැනුමකි. මේ විෂය ගැනද ඔහු ලියා පළ කළ පොත්පත් හා ලිපිලේඛන විවිධය. මේ විවිධ අංශ අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ ඔහුගෙන් සැලසුණු වාග්විද්‍යා සේවය සම්මර්ශනය කිරීමයි.

වාග්විද්‍යා විෂය ක්ෂේත්‍රය ගැන සැලකීමේදී ඇතමකුගේ අවධානය යොමු වන්නේ භාෂාවේ සංස්ථිතික අංශය කෙරෙහිය. තවත් අයකු යොමු වන්නේ ඓතිහාසික අංශය කෙරෙහිය. මේ අතර වෙනත් කෙනකු තුලනාත්මක අංශය කෙරෙහි අවධානය යොමු කරනු දක්නට ලැබේ. ජනක _ ප්‍රතියෝජක ව්‍යාකරණය කෙරෙහි ඇතැම් අය යොමු වෙති. සමාජ වාග්විද්‍යාවෙහි එල්බ ගැනීම තවත් අයගේ ස්වභාවයයි. භාෂා ඉගැන්වීම අදාළ ක්‍රම ශිල්ප ඇතුළත් ව්‍යවහාරික වාග් විද්‍යාව කෙරෙහි ඇතැම් අය ඇදී යති. එහෙත් ශ්‍රී ලාංකේය පාඨකයාගේ සම්භාවනාවට පාත්‍ර වෙමින් වාග්විද්‍යාවට අනුබද්ධ විවිධ ශාඛා ප්‍රශාඛා ගැන ගැඹුරු අධ්‍යයනයන්හි හා පර්යේෂණයන්හි යෙදී සිටින එකම විද්වතාණන් වනුයේ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතාය. අන්‍ය වාග් විද්‍යාඥයන්ගේ මතවාද ඉදිරිපත් කිරීමෙන් පමණක් ඔහු සෑහීමට පත් නොවීය. ස්ව ශක්තියෙන් ගොඩනැංවූ අනන්‍ය මතද ඔහු ඉදිරිපත් කළේය. ඇතැම් විට විවාදාපන්න මතද ගෙනහැර දැක්වීය. පරවාද ඛණ්ඩනයට ද යොමු විය. මේ ක්‍රමෝපාය මඟින් ඔහු වාග්විද්‍යා ක්ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් සලසයි.
මහාචාර්ය බලගල්ලේ පෙර'පර දෙදිග භාෂා පිළිබඳ විද්වතෙකි. තමන් හදාළ සංස්කෘත හා පාලි ග්‍රන්ථවල ඇතුළත් යෙදුම් කට පාඩමෙන් ඉදිරිපත් කොට සිය අදහස් තහවුරු කිරීමට ඔහු සමත්ය. ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයට අමතරව යුරෝපීය හා ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල හා වෙනත් ආයතනවලදී ලැබූ අධ්‍යයනය හා පරිචය නිසා වාග්විද්‍යා විෂයෙහි ගැඹුරු තැන් මැනවින් වටහා ගැනීමට ඔහු සමත් විය.

මහාචාර්ය බලගල්ලේ ලියා ඇති පොත් අතරින් 'භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය' කෘතිය යොමු වන්නේ සංස්ථිතික වාග්විද්‍යා අංශය කෙරෙහිය. සමාජ වාග්විද්‍යා විෂයට අදාළ කරුණුද එහි ඇතුළත් වෙයි. භාෂාව, භාෂාවේ සංස්ථිතිය හා එහි කාර්ය, භාෂාව හා ජාතික අනන්‍යතාව, භාෂාව, පුද්ගලයා හා සමාජය, භාෂණය හා ලේඛනය, ව්‍යාකරණය හෙවත් භාෂා විග්‍රහය හා සිංහල ව්‍යවහාරය යන මාතෘකා යටතේ කෙරෙන ශාස්ත්‍රීය විග්‍රහ මෙහි ඇතුළත් වේ. සිංහලයේ ස්වරූපය ගැන සංස්ථිතිය වශයෙන් ඔහු ලියා පළ කළ ශාස්ත්‍රීය ලේඛනද බොහොමයක් පවතී. සිංහල භාෂාවේ ස්වරූපය යන කෘතිය මහාචාර්ය ගයිගර්ගේ ඉංගී්‍රසි නිබන්ධයේ පරිවර්තනයකි. සිංහල භාෂාවේ යථා ස්වරූපය මේ කෘතියෙන් අනාවරණය කෙරේ. මහාචාර්ය බලගල්ලේ සතු භාෂා පරිවර්තන කුසලතාවද මනාව අනාවරණය වෙයි.

සිංහල භාෂාවේ සම්භවය හා පරිණාමය යන කෘතියෙන් හෙළි වන්නේ මහාචාර්යතුමාගේ ඓතිහාසික හා තුලනාත්මක වාග්විද්‍යා ක්ෂේත්‍රයන්හි පවත්නා පාටවයයි. සිංහල භාෂාවේ සම්භවය හා තදනුබද්ධව පවත්නා ආර්ය ද්‍රවිඩ වාදය, සිංහල ජාතියේ සම්භවය පිළිබඳ ඓතිහාසික වෘත්තාන්ත, භූගෝලීය කලාපය තුළ ප්‍රචලිත භාෂා පවුල්, සිංහල භාෂාවේ සම්භවය හෙළි කරන වාග්විද්‍යාත්මක සාධක, සිංහල භාෂාවේ පරිණාමය, භාෂා පරිණාමයේ හේතු, සංස්ථිතික ස්තර හා රීති, සිංහලයේ ශබ්ද පරිණාමය හා ඓතිහාසික ශබ්ද යෝග විචාරය යන අංශ කෙරෙහි මෙහිදී අවධානයට පාත්‍ර වේ.

'සිංහල භාෂාවේ සම්භවය හා ප්‍රවර්ධනය' යන කෘතියද ඓතිහාසික හා තුලනාත්මක වාග්විද්‍යා අංශ කෙරෙහි ඔහුගෙන් සැලැසුණු අනුපම සේවාව නිරූපණය කරන්නකි. සිංහල භාෂාවේ ප්‍රභවය හෙළි කරන සාධක, සිංහල ප්‍රාකෘතයේ ආකෘතික ස්වරූපය හා සිංහල අනන්‍යතාවේ ඉතිහාසය, සිංහල භාෂාවේ ප්‍රභවය පිළිබඳ මතාන්තර, සිංහල භාෂාවේ ප්‍රවර්ධනය හා සංස්කෘතික සංස්පර්ශය සිංහලයේ ප්‍රවර්ධනය කෙරෙහි බලපෑ හැටි යන කරුණු පිළිබඳ ගැඹුරු විග්‍රහයක් මේ කෘතියෙහි ඇතුළත් වේ. ඉහත සඳහන් ග්‍රන්ථවලට අමතරව ශාස්ත්‍රීය සඟරාවල ලියූ ලිපි මඟින්ද ඓතිහාසික හා තුලනාත්මක වාග්විද්‍යා ක්ෂේත්‍ර උදෙසා මහාචාර්යතුමාගෙන් සිදුවූ උසස් සේවය හෙළි වෙයි.

මහාචාර්ය බලගල්ලේගේ වාග්විද්‍යා සේවයේ නව ප්‍රවණතාවක් වශයෙන් සැලකිය හැකි කෘතියක් වනුයේ භාෂී සන්නිවේදනය, අර්ථ විචාරය හා උපයෝගිතා විචාරයයි. වාග්විද්‍යා උගතුන් අතර මෙතෙක් පැවැති පිළිගැනීම වූයේ උපයෝගිතා විචාරය අලුත් විෂය ක්ෂේත්‍රයක් බවයි. එහෙත් මහාචාර්යතුමා මේ මතය ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ මතය අනුව මෙය අර්ථ විචාරයේම කොටසකි. භාෂී සන්නිවේදනය, සන්නිවේදනයේ භාෂාව, භාෂීය අර්ථ විචාරය හා ප්‍රකරණ උපයෝගිතා විචාරය යන කරුණු පිළිබඳව මේ කෘතියේදී විග්‍රහ කෙරේ.
වාග්විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි නියැළි අනෙක් විද්වතුන්ට වඩා බලගල්ලේ මහාචාර්යතුමාගේ සේවයෙහි කැපී පෙනෙන විශේෂතා හා අනන්‍යතා ලක්ෂණ කීපයක්ම ගැන පාඨකයාගේ අවධානයට පාත්‍ර විය යුතුය. මෙයින් එක් අංශයක් බැඳී පවත්නේ භාෂා අධ්‍යයනයට අදාළ ශබ්ද විචාර පිළිබඳ විග්‍රහයේදීය. වෙනත් බොහෝ ලේඛකයන් ශබ්ද විචාර තලය විස්තර කිරීමේදී උච්චාරණාත්මක හා ශ්‍රවණාත්මක තලයක් ගැන අවධානය යොමු කර ඇතත් වඩාත් විදුහුරු වූ ශ්‍රව්‍යධ්වනි/ ශබ්ද තරංගාත්මක තලයට යොමුවී නැත. එහෙත් මහාචාර්ය බලගල්ලේගේ අධ්‍යයනවල මේ ලක්ෂණය ඇත. 'භාෂා අධ්‍යයන ලිප' ග්‍රන්ථයෙහි අකාරයේ සංවෘති _ විවෘත භේදය, සිංහලයේ සඤ්ඤක අකුරු ලිපිවලදී ප්‍රභාවලී ලේඛ යොදා ගැනීම නිදසුනකි.

සිංහල ලේඛකයන් සාමාන්‍යයෙන් චිරසම්මත වර්ණ මාලාවෙන් බැහැරව එදිනෙදා භාෂණයෙහි යොදන කතා ශබ්ද පිළිබඳව අවධානය යොමු කොට නැත. එහෙත් බලගල්ලේ මහතා මේ ගැන අවධානය යොමු කොට ඇත. උක්තාඛ්‍යාතයෙහි එන බහුපද්ධතික භාෂා විග්‍රහය හා සිංහලයේ භාවධ්වනිත වචන ලිපිය මේ පිළිබඳ නිදසුනකි.

බොහෝ ලේඛකයන් වාග්විද්‍යාවේ ශබ්දයෝග විචාර, පදසාධන, වාක්‍ය විචාර, තලයන්ට අවධානය යොමු කොට ඇතත් අර්ථ විචාර තලයට අවධානය යොමු කොට නැත. එහෙත් බලගල්ලේ මහතා එසේ කිරීමෙහි වැදගත්කම පෙන්වා දී ඒ ගැන අවධානය යොමුකොට ඇත. 'භාෂී සන්නිවේදනය අර්ථ විචාරය හා උපයෝගිතා විචාරය' කෘතිය මෙන්ම තවත් ලිපි කීපයක්ද මේ පිළිබඳ නිදර්ශන වේ. ඉතා මෑතදී බටහිර ඇතැම් වාග් විද්‍යාඥයන් භාෂා විග්‍රහයේ ශබ්ද විචාරය, පදකයෝග විචාරය, වාක්‍ය විචාරය හා අර්ථ විචාරය යන තලයන්ට අමතර තලයක් වශයෙන් උපයෝගිතා විචාරය ඉදිරිපත් කර ඇත. බලගල්ලේ මහතා සිංහල උගතුන්ට මේ පිළිබඳව හඳුන්වා දෙමින් ලියූ ඉහත සඳහන් කෘතියේදී උපයෝගිතාව භාෂා විග්‍රහයේ අමතර තලයක් නොව අර්ථ විචාරයේම එක්තරා ප්‍රභේදයක් වශයෙන් සැලකිය යුතු බවත් සම්භාව්‍ය සංස්කෘත භාෂා සාහිත්‍ය විචාරයන්ගේ ඉගැන්වීම්වලින් එය පැහැදිලි වන බවත් පෙන්වාදී ඇත. මේ අතර සිංහලයේ ප්‍රභවය පිළිබඳව ඉන්දු ඉරාණීය භාෂා පවුලේ සම්බන්ධතාවද සිංහල භාෂා පරිණාමයේ යුග බෙදීමද පිළිබඳව නව අදහස් බලගල්ලේ මහතා ඉදිරිපත් කොට ඇත. මේ අනුව වාග්විද්‍යා සාගරයෙහි පතුලටම කිමිදෙමින් සිංහල භාෂා විග්‍රයේ නියැළුණු ප්‍රාමාණික විද්වතා වශයෙන් මහාචාර්ය බලගල්ලේ මහතා හඳුන්වාලීම සාකල්‍යයෙන්ම යෝග්‍ය වන්නේය. "විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ" යන සංස්කෘත පාඨයෙහි සත්‍යතාව එතුමාගේ වාග්විද්‍යා සේවාවෙන් මනාව තහවුරු වේ.

මහාචාර්ය බලගල්ලේ මහතා සිය ජීවිත කාලයෙන් අඩක් පමණ ගත කර ඇත්තේ විශ්වවිද්‍යාල සේවය සඳහාය. ඔහු සේවාර්ජිත මහාචාර්යවරයෙකි. අතීතයේදී මහාචාර්යවරුන් විශ්‍රාම ගැනීමේදී ලැබුණේ අර්ථසාධක ගෙවීම පමණකි. විශ්‍රාම වැටුපක් නොවීය. වර්තමාන මහාචාර්යවරු ඒ අතින් වාසනාවන්තයෝය. ඔවුනට විශ්‍රාම වැටුප හා අර්ථසාධක අරමුදල් යන දෙකම ලැබේ. මේ අතර රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් ලැබේ. කලාකරුවන්ට හා ගොවීන්ට විශ්‍රාම වැටුප් දීමේ වැඩපිළිවෙළක් රජයෙන් අරඹා ඇතැයි පසුගියදා ප්‍රකාශ විය. එහෙත් අතීත මහාචාර්යවරුන් උදෙසාත් එබඳු වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ප්‍රමාද වී හෝ අවධානය යොමු කිරීමට රජය හෝ පෞද්ගලික අංශය ඉදිරිපත් වන්නේ නම් එය මහඟු සේවයකි. මහාචාර්යවරුන්ට උපහාර පුදා ඔවුන්ගේ සේවය අගය කිරීමෙන් පමණක් සෑහීමකට පත්වීම යෝග්‍ය නොවන බවද සඳහන් කළ යුතුය.

මහාචාර්ය රත්න විජේතුංග

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon