තාරකගේ ගෝලයා දේශාන්ට මාංචු වැටුණු මහ රෑ පොලිස් මෙහෙයුම

  👤  4025 readers have read this article !
By mawbima 2017-11-19

දකුණේ තවමත් පාතාල බිය පහව ගොස් නැත. පාතාල කිරුළට වෙර දරනා කොස්ගොඩ තාරක සහ කොස්ගොඩ සුජී යන දෙදෙනාගේ බල පොරය අළු යට සැඟවුණු ගින්දර මෙන් තවමත් පවතී.

ඊළඟට කොහෙන් වෙඩි පත්තු වෙයිද? කවුරු මැරෙයිද? යන බියෙන් දකුණේ ජනතාවද දින සති ගෙවමින් සිටිති.
දකුණ යළි භීතියෙන් ඇලළී ගියේ ඉකුත් ඔක්තෝබර් 29 වැනි දින ඉර නැඟීමට හෝරා කිහිපයකට පෙර කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ සිවු පුද්ගල ඝාතනයත් සමඟය.
එදින යතුරුපැදි දෙකකින් යුදපිටිය, කුරුඳුගම්පියස, මැණික් ගම්මානය යන ප්‍රදේශයන්ට කඩා වැදී තුවක්කුකරුවන් සිවුදෙනකු විසින් අවස්ථා තුනකදී සිදු කළ වෙඩි තැබීමකින් අනතුරුව මෙම සිවු පුද්ගල ඝාතනය වාර්තා විණි.

මෙම සිවු පුද්ගල ඝාතනයට ගොදුරු වූයේ බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ජගමුනි මහින්දරාජා සොයිසා (50), ඔහුගේ දරුවන් දෙදෙනා වූ ජගමුණි අයේෂ් (21) ගජමුනි දුමිඳු විශ්මික (13) සහ කපිලරත්න (38) යන තිදෙනාය.

ජගමුනි මහින්දරාජා සොයිසා යනු පාතාල නායක කොස්ගොඩ සුජීගේ මාමාය. ඔහු කොස්ගොඩ යුදපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් විය.
ජගමුනි මහින්දරාජා සොයිසාගේ මිත්‍රයකු වූ කපිලරත්න පදිංචිව සිටියේ කොස්ගොඩ මැණික් ගම්මානය ප්‍රදේශයේය.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා කොස්ගොඩ තාරකද පැමිණ තිබූ බව පොලිස් කණ්ඩායම අනාවරණය කරගෙන තිබිණි.
එසේම කොස්ගොඩ තාරක සමඟ දේශාන් අබේසේකර නමැති තරුණයකුද පැමිණ තිබූ බව ඇසින් දුටු සාක්ෂිකරුවන් මඟින් පොලිස් විමර්ශන නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව මෙම සිවු පුද්ගල ඝාතනයට අවශ්‍ය කරන, සාක්ෂි මඟින් නම් ගම් හෙළිදරව් වූ කොස්ගොඩ තාරක සහ දේශාන් අබේසේකර සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.
කොස්ගොඩ සිවු පුද්ගල ඝාතනයේ විමර්ශන කටයුතු මෙලෙස සිදුවන අතරවාරයේ එම වෙඩි තැබීමෙන් දෙදිනක් ගත වීමටත් ප්‍රථමව බටපොළ, ඊරියගහ‍ෙදාළ ප්‍රදේශයෙන් තවත් වෙඩි වරුසාවක් වාර්තා විණි.

ඔක්තෝබර් 31 රාත්‍රි 7.15ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එම වෙඩි වරුසාව තබා පලා ගොස් තිබිණි. වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූයේද පස් දෙනකු ගමන් ගත් මෝටර් රථයක්ය.
තාරකගේ මාමා, ඔහුගේ තුන් හැවිරිදි, හත් හැවිරිදි, දහතුන් හැවිරිදි යන වයස් සීමාවන්වල පසුවන දරු දැරියන් තිදෙනෙක් සහ මෝටර් රථ අලුත්වැඩියා කරන්නකු එම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූහ.

කොස්ගොඩදී තමාගේ මාමා ඇතුළු දරුවන් ඝාතනය කළ පළිය ගැනීමට කොස්ගොඩ සුජී විසින් මෙම ප්‍රහාරය ඔහු මේ වන විට වෙසෙන ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා සිදුකළ බවටද පසුව අනාවරණය විය.

මාමාට මාමා, දරුවාට දරුවකු යන සංකල්පය මත පවුල් පිටින්ම මරා දමා පළියට පළිය ගැනීමට වෙර දරන කොස්ගොඩ තාරක සහ කොස්ගොඩ සුජී අතර ඇතිව තිබෙන ගැටුම නිසා මුළු දකුණම බටපොළ වෙඩි තැබීමත් සමඟම භීතියෙන් ඇලළී ගියේය.
ඒත් සමඟම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ නියෝග පරිදි දකුණු පළාතටම පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දුනි.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාරගේ උපදෙස් මත පාතාල ගැටුමට සම්බන්ධ නායකයන් සහ ගෝලබාලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් දකුණු පළාතට පිටත් කරවීය.
ඒ වන විටත් මෙම වෙඩි තැබීම් සිද්ධීන් සම්බන්ධයෙන් ගාල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුවගේ අධීක්ෂණය සහ උපදෙස් මත දකුණු පළාතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
මෙම පොලිස් කණ්ඩායම් සියල්ලගේම මූලික අරමුණ වූයේ කොස්ගොඩ තාරක ඇතුළු ඔහුගේ කල්ලි සාමාජිකයන් සහ කොස්ගොඩ සුජීගේ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමය.

එසේම පොලිස් අංශවල ඊළඟ අරමුණ වූයේ දකුණේ යළි වෙඩි හඬ නොනැඟෙන ලෙස පාතාල කල්ලිවල බලපරාක්‍රමය මැඬලීමටය.
ඒ සඳහා දකුණු පළාතම ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුම්, හදිසි මාර්ග බාධක, පොලිස් ජංගම රථ සංචාර, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඒකාබද්ධව එය කෙරිණි.

කොස්ගොඩ තාරකද සිය ගෝලබාලයන් සමඟ විදේශගත වීමට දරන උත්සාහයන්ද බුද්ධි අංශ විසින් මේ කාලය තුළ හෙළි කරගන්නා ලදී.
නමුත් මෙතෙක් තාරක ගැන කිසිදු හෝඩුවාවක් ලබා ගැනීමට ආරක්ෂක අංශ වෙත නොහැකිව තිබේ.
බටපොළ පස් දෙනකුට බරපතළ තුවාල සිදුකරමින් වෙඩි ප්‍රහාරයක් දියත් කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල නායක කොස්ගොඩ සුජීගේ කල්ලියේ සාමාජිකයන් ගැනද ආරක්ෂක අංශ වෙත මෙතෙක් නිවැරැදි තොරතුරක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

තත්ත්වය මෙසේ තිබියදී කොස්ගොඩ සිවු පුද්ගල ඝාතනයට පැමිණි බව සාක්ෂිවලින් අනාවරණය වූ කොස්ගොඩ තාරකගේ සමීපතම ගෝලයකු වන දේශාන් අබේසේකර කොස්ගොඩ කටුවිල ප්‍රදේශයේ කුරුඳු වත්තක සැඟවී සිටින බවට කොස්ගොඩ පොලිසියේ නිලධාරියකුට තොරතුරක් ලැබිණි.

වහාම ක්‍රියාත්මක වූ කොස්ගොඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදයසිරි සිරිමාන්න සිය කණ්ඩායම වූ උප පොලිස් පරීක්ෂකවරුන් වන බාලේන්ද්‍ර, ජයසූරිය, ඉරාන්, කීර්ති, පොලිස් කොස්තාපල්වරුන් වන තරංග (72995), චන්ද්‍රසිරි (20307), කසුන් (85869), ළහිරු (85835), ඇතුළු කණ්ඩායම කණ්ඩායම් තුනකට බෙදී කටුවිල කුරුඳු වත්ත පිහිටි ප්‍රදේශයට ඉකුත් 12 වැනිදා රාත්‍රියේ පිටත්ව ගියහ. රාත්‍රි ආහාර සොයා ගැනීම සඳහා කුමන හෝ මොහොතක කුරුඳුවත්තෙන් දේශාන් එළියට එන බව දැනගෙන සිටි පොලිස් කණ්ඩායම් තුන මදුරුවන්, හෝහපුටුවන් තළමින් හෝරා කිහිපයක් ඒ අවට ප්‍රදේශයේ මාර්ග කිහිපයක රැකගෙන සිටියහ.
මධ්‍යම රාත්‍රිය එළැඹීමට විනාඩි දහයකට ප්‍රථමව ඝන අන්ධකාරය මැදින් කිසිවකු හෝ ඉදිරියට පැමිණෙන අඩි ශබ්දයක් පොලිස් කණ්ඩායම්වලට ඇසිණි.
ඡායාවක් සේ ඉදිරියට පැමිණි ඔහු අනතුරුව හොඳින් දිස් විණි. ඔහු කොණ්ඩය බැ¼දගෙන සිටින අයෙකි.
ඒ වන විටත් මොහු දේශාන් බව පොලිස් කණ්ඩායම් නිගමනය කරගෙන තිබිණි.
මඟ රැක සිටි පොලිස් නිලධාරීහු වහාම දේශාන්ව අත්අඩංගුවට ගත්හ. පොලිසිය සමඟ පොර බැදූ ඔහු අවසානයේ පරාජය වූයේ ඔහුට කිසිදු දෙයක් කරගැනීමට සිතීමටවත් පොලිස් නිලධාරීන් ඉඩකඩක් වෙන් කර නොතිබූ හෙයිනි. ඝාතනයෙන් පසු දින 15ක පමණ කාලයක් දේශාන් මෙම කුරුඳුවත්තේ වාඩියක නැවතී සිට ඇත. ඔහුට අවශ්‍ය කෑම බීම ඔහුගේ ඥාති පාර්ශ්වය සහ මිතුරන් විසින් එම වාඩියට ගෙනැවිත් දී තිබේ.

උප්පැන්න සහතිකයට අනුව දේශාන්ගේ නම සඳහන් වන්නේ සුවාරිස් උදාර දේශාන් අබේසේකර යනුවෙනි. 22 හැවිරිදි තරුණයකු වන ඔහු කොස්ගොඩ, නානතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දේශාන්ගේ වැඩිමහල් සහෝදරයා වූයේ දකුණේ පාතාලයේ නමක් දිනාගෙන සිටි කොස්ගොඩ ලොකුය. රුවන් චාමර අබේසේකර නමින් හඳුන්වන ඔහු 2017 මැයි මස 08 වැනි දින කළුතර, වැලිපැන්න, දියකොරඩුව ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.

කොස්ගොඩ ලොකු යනු කොස්ගොඩ තාරකගේ ගජ මිතුරෙකි. කොස්ගොඩ සුජී විසින් ඩුබායි සිට මෙහෙයවා කොස්ගොඩ ලොකුවද අවසන් ගමන් යැවූ අතර ඊට කොස්ගොඩ සුජීගේ සමීපතම ගෝලයකු වූ රනා නමැත්තකු තවත් පුද්ගලයකු සමඟ ඝාතනයේ වගකීම භාරගෙන පොලිසියට භාර විය.
තමාගේ දකුණු අත සේ සිටි කොස්ගොඩ ලොකු ඝාතනය කිරීමේ පළිය කෙසේ හෝ ගැනීමට කොස්ගොඩ තාරක ඒත් සමඟම අදිටන් කර ගත්තේය.
එක ලෙයින් හැදුණු වැඩුණු තමාගේ වැඩිමහල් සහෝදරයා වෙඩි තබා මරා දැමීමේ පළිය ගැනීමට සිතා ගත් දේශාන්ද කොස්ගොඩ ලොකුගෙ ඇවෑමෙන් පසු පාතාල නායක කොස්ගොඩ තාරකට සමීප විණි.

අත්අඩංගුවට පත්වූ දේශාන් අබේසේකර පැය 48ක රැඳවුම් නියෝග මත කොස්ගොඩ පොලිසිය මඟින් ප්‍රශ්න කිරීමේදී කොස්ගොඩ සිවු පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි රැසක් ඔහු පොලිසිය ඉදිරියේ පාපෝච්චාරණය කළේය.

ඝාතනයට ලක්වූ ජගමුනි මහින්දරාජා සොයිසා, එසේත් නැතිනම් බළපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි පුතුන් දෙදෙනකු පියකු විය.
ඉන් වැඩිමහලු පුතු එනම් 21 හැවිරිදි ජගමුනි අයේෂ් 2014 වසරේදී ලොරියක් පදවමින් නිවෙසට පැමිණ සිටියදී මාර්ගයේ ඇතිවූ ඉඩකඩ ප්‍රශ්නයක් නිසා ත්‍රිරෝද රථ රියැදුරකු සමඟ වචන හුවමාරුවක් ගොස් තිබිණි.
ලොරි රථය නිසා ත්‍රිරෝද රථයට ඉදිරියට යෑමට බාධා වූ නිසා ත්‍රිරෝද රථ රියැදුරා අයේෂ්ට අම්මා මුත්තා මතක් කර බැන තිබිණි.
එදින එම ත්‍රිරෝද රථයේ සිටියේ දේශාන් අබේසේකරය.

මෙම වාහන ප්‍රශ්නය ගැන ආරංචි වූ කොස්ගොඩ ලොකු පසුව සිය මලයා වූ දේශාන් සමඟ තවත් ඔවුන්ගේ සගයෝ පිරිසක් සමඟ මහින්දරාජා සොයිසාගේ නිවෙසට 2014 වසරේදීම කඩා වැදී මහින්දරාජාගේ පවුලටම පොලුවලින් පහර දුන්හ.
නමුත් තම පවුලේ අයට පහරදීමට පැමිණි කල්ලිය අල්ලා ගැනීමට එදින මහින්දරාජා සොයිසාට හැකි විණි. එම කල්ලිය පැමිණි ත්‍රිරෝද රථයේ අත් බෝම්බයක්ද තිබූ අතර මීට අදාළ නඩුව බළපිටිය මහාධිකරණයේ මේ වන විටත් විභාග වේ.

කළුතර වැලිපැන්න ප්‍රදේශයේදී කොස්ගොඩ ලොකුව ඝාතනය කිරීමට ඔත්තුද කොස්ගොඩ සුජීට ලබා දුන්නේ ඊට යාබද ගමෙහි සිටින මහින්දරාජාගේ මිතුරකු වූ කපිලරත්න විසින් බව කොස්ගොඩ තාරක සහ දේශාන් අබේසේකර අනුමාන කර තිබිණි.

ඒ අනුව 2014දී සිදුවූ වාහන ප්‍රශ්නය සහ 2017 මැයි 08 වැනි දින සිදුවූ කොස්ගොඩ ලොකුගේ ඝාතනය යන සිද්ධි දෙක මුල් කර ගනිමින් මහින්දරාජා සොයිසාගේ පවුලම ඝාතනය කිරීමේ අරමුණින් ඔක්තෝබර් 29 වැනි දින ආයුධ සන්නද්ධව කල්ලිය යුදපිටිය ගම්මානයටත්, මැණික් ගම්මානයටත් මෙලෙස කඩා වැදුණි.
මරදාන චොප්පෙලා, නාවල නිහාල්ලා, කඩුවෙල වසන්තලා එකල සිය විරුද්ධ කල්ලිවලට පහර දුන්නේ තම ප්‍රතිවාදියා ඝාතනය කිරීමට පමණි.
නමුත් වර්තමාන දකුණේ පාතාල කල්ලි පවුල් පිටින් එකට මිනී වළ දැමීමේ අදහසින් සිය පාතාල ලෝකය මෙහෙයවනු ලබයි.

එසේම කොස්ගොඩ තාරකට පාතාල ලෝකයේ නමක් තිබුණද ඔහු එම නමට කුණු පැල්ලමක් ගා ගත්තේ මීට මාස කීපයකට ඉහතදීය. එනම් පිළියන්දල, අත්තිඩිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක් කොල්ල කෑමට පැමිණ එහි සිටි නිරායුද ආරක්ෂක නිලධාරියකුගේ පපු ප්‍රදේශයට වෙඩිල්ලක් එල්ල කර මරා දැමීමත් සමඟ පාතාල නායකයන් තාරකව කොන් කරනු ලැබීය.

මේ වන විට පාතාල කිරුළ තමාගේ යටතට ගෙන සිටින මාකඳුරේ මධුෂ්ද තාරක සමඟ කටයුතු කළ අයෙකි.
පාතාල මර්දන ඒකකයන් පවසන පරිදි දකුණේ පාතාලයට කිරි පොවන්නේද දකුණේ ඇතැම් දේශපාලනඥයන් විසිනි.
කොස්ගොඩ සුජීගේ විවාහයට අස්සන් තබන්නේද දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකි.

එම සබඳකම් උඩ කොස්ගොඩ සුජීගේ සහෝදරියකද ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවද පාතාල මර්දන ඒකක වෙත තොරතුරු ලැබී තිබිණි.
එසේම පාතාල නායක කොස්ගොඩ තාරකගේ මවද දකුණේ ප්‍රබල දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු සමඟ සමීප සබඳතාවක් පවත්වන අතර ඒ හරහා ඇයද මෙරට පළාත් පාලන ඡන්ද පොරයට ඉදිරිපත් වීමට ලක ලෑස්ති වන බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබේ.
රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු මනෝජ් මෙන්ඩිස්ද අවසන් ගමන් යන්නේ පාතාල පලහිලව්වක ප්‍රතිඵලයක් ලෙසටය.
එම නිසා දකුණේ ජනයා අවි ගත්තෝ අවියෙන්ම නැසෙති යන බුද්ධ පාඨය විශ්වාස කරමින් දිවි ගෙවන්නෝය.

කොස්ගොඩ තාරකට සහ කොස්ගොඩ සුජීටද මේ වන විට වී ඇත්තේ කළකම් පලදීමකි.
කෙසේ වෙතත් මෙම පාතාල ගැටුමෙන් දකුණේ සාමාන්‍ය ජනතාව මුහුණ පා සිටින බිය පහ කළ හැක්කේ ආරක්ෂක අංශ වෙතටය. ආරක්ෂක අංශවල ඊළඟ අභිප්‍රාය වන්නේ කොස්ගොඩ තාරක ඇතුළු ඔහුගේ කල්ලිය සහ කොස්ගොඩ සුජීගේ කල්ලිය අත්අඩංගුවට ගැනීමටය.

චාමර අමරසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon