අධ්‍යාත්ම බල ඇති අසුහත් වියැති ජපානයේ මුල්ම තෙරණියෝ මියෝ අයි MYOU AI මව්බිමට වඩිති

  👤  4010 readers have read this article !
By mawbima 2017-11-19

ඒ දැකුම් මාත්‍රය පවා සිත් පහන් කරනු හැඟේ. මා අබියස වැඩ සිටින්නේ උපශාන්ත බැලුම් සහිත, පිරී ඉතිරෙන කුලුණු ගුණයෙන් යුතුව දුටුවන් නිවා සනහාලන සිනාවකින් මුව සරසා ගත් පින්සාර භික්ෂුණියකි. උන්වහන්සේ පිරුණු අසූ හත් වියැති බව කියති. එහෙත් එවැනි සිතිවිල්ලක්වත් නූපදවන තරමටම තෙරණියෝ නිරෝගී සුවයෙන් වෙසෙති. මේ තෙරණියන් එපමණම වියපත් බවට වන සාධක කිසිත් නොවේ. හඬ තවම තරුණය. සිහිය බෙහෙවින්ම තියුණුය. උන්වහන්සේ ජපන් බස වහරති. එය සිංහලයට නඟමින් උන්වහන්සේ සමඟම හිඳින්නේ ආචාර්ය ජයලත් ඉලංගකෝන්ය. ඇදුරු ඉලංගකෝන් ජපානයේ කතුතා සරසවියේ ආචාර්ය උපාධිධරයෙකි.

පෘථග්ජනයන් බොහෝ දෙනකු විෂය කොට නොගත් විශ්වයේ යම් ගැඹුරු දහමක් ඇසුරෙන් ලද ශික්ෂණයෙන් වෙනස් ආධ්‍යාත්මික තලයකට පිවිස ඇතැයි විශ්වාස කරන උන්වහන්සේ පූජ්‍ය මියෝ අයි (ර්කර්ණීඋ ඒධ්) ය. මෑත ජපන් ශාසනික ඉතිහාසයේ වාර්තාවූ මුල්ම භික්ෂුණිය උන්වහන්සේය. එතුමිය පැවිද්ද ලබාගැනීම පිළිබඳව කතාව විශ්ව සත්තාව රූපණය කරන ධර්ම කාව්‍යයක් සේ රසවත්ය.

ජපන් බසින් ළයාන්විත රිද්මයකින් කියැවෙන උන්වහන්සේගේ කතාව ආචාර්ය ජලයත් චතුර ලෙස සිංහලට නඟා ඇත. මියෝ අයි භික්ෂුණීන් වහන්සේගේ දායාද්‍ර දෑස මහා කතාවක් සඟවාගෙන ඇති අයුරු දකිමින් ඒ කතාව අසා හිඳිමි.

"මං උපන්නේ දකුණු කොරියාවේ. මං ගත කළේ මිනිසෙක් විසින් ප්‍රාර්ථනා කළ යුතු ආකාරයේ ජීවිතයක්. මඟේ සැමියා දකුණු කොරියාවේ එවකට හිටපු කෝටිපති ව්‍යාපාරිකයෙක්. මා ගත කළේ මෙපමණය කියලා අඩුවක් නොතිබුණු කාමභෝගි ජීවිතයක්. මට දරු පැටව් හතර දෙනෙක් හිටියා. පුතාලා දෙන්නයි දුවලා දෙන්නයි."
"එහෙත් එක මොහොතකින් ජීවිතය කියන්නේ මොකක්ද කියලා වැටහෙන තීරණාත්මක සිදුවීමක් වුණා. ඒ වර්ෂ 1967. ඒ වර්ෂය වෙනකොට මගෙ වයස අවුරුදු 37යි. බලාපොරොත්තු නොවුණු මහා ආර්ථික පෙරළියක් රටේ සිද්ධ වුණා. එක මොහොතකින් මගෙ මහත්තයාගේ සියලුම ව්‍යාපාර බිඳ වැටුණා. අපි එක් රැයකින් සියලු සැපසම්පත් අහිමිව මහ මඟට වැටුණා. මේ කම්පනය දරාගන්න හැකි තරම් එකක් නොවෙයි. මගෙ මහත්තයා මට යෝජනා කළේ එක දෙයයි."
"අපි දරුවො හතර දෙනාත් එක්ක වහ බීලා ඒකට මැරෙමු."

ඇත්තටම අපට වෙන විකල්පයක් තිබුණේ නෑ. ඒත් මං මගෙ සැමියාගෙ කකුල් දෙක ළඟ වැටිලා ඉල්ලුවා මං මේකට විසඳුමක් අරන් එන්නම්. එතකන් ඔයා දරුවො ටික බලාගෙන ජීවත් වෙන්න. මං ආවට පස්සේ අපි තීන්දු කරමු මොනවද කරන්නෙ කියලා.
උතුරු දකුණු දේශ සීමාවේ බවුන් වැඩූ හැටි

ඔහු වචනයක්වත් කීව්වෙ නෑ. මං සියලුදෙනාගෙන්ම සමු අරගෙන ගෙදරින් ආවා. ඇඳුම් දෙකක් විතරයි මගේ අතේ තිබුණේ. දාගෙන හිටපු පාවහන් දෙක තිබුණා. මං ගියා පන්සලට. ගිහින් කිව්වා මට පැවිද්ද දෙන්න කියලා. කොරියාවේ ඒ වෙනකොට භික්ෂුණී ශාසනයක් නෑ. මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ඒත් මං භික්ෂුණියකගේ ප්‍රතිපත්ති පුරන්න අධිෂ්ඨාන කරගත්තා. එහෙත් මට භාවනානුයෝගීව ජීවත්වෙන්න පරිසරයක් කොරියාවේ ආගමික පරිසරය තුළ නෑ. මා කල්පනා කරමින් ඉදිරියට ගියා. උතුරු දකුණු කොරියානු දේශසීමාව වෙන් කරන සීමාව කිලෝමීටර් 11ක්. කිසිම මනුෂ්‍ය වාසයක් ඒ වෙනකොට නෑ. ඒ කලාපය ජන ශූන්‍ය කලාපයක්. මං මේ වන වැදුණු පරිසරයට ඇතුළු වුණා.
මං ඉපදුණු 1940 අවුරුද්ද වෙනකොට උතුරු හා දකුණු කියලා කොරියාව වෙන් වෙලා තිබුණේ නෑ. 1948 අවුරුද්දෙදි තමයි කොරියාව රජ්‍ය දෙකකට වෙන් වුණේ. වර්ෂ 1948 පෙර කාලයේදී මේ දේශසීමාව වෙන් කරන ජනශූන්‍ය කලාපය එකම ජනපදයක්.

දේශසීමාව වෙන් කරන කලාපයට ඇතුළුවුණු මා දුටුවේ වන වැදී මිය ගිය මිනිස් වාසයක නටබුන්. ඒ වෙනවිට මේ භූමිය අත්හැරලා අවුරුදු විස්සක් පමණයි ගෙවිලා තිබුණෙ. රැඳී සිටිය හැකි නිවාස ඉතිරි වෙලා තිබුණා. අත්හැර දැමූ වගාවන් කැලෑවට වැදිලා ඉබේ හැදෙමින් තිබුණා. එළවළු ඇති පමණ. අස්වනු නෙළා ගන්නට කෙනෙක් නැති රාබු යායවල් මා දුටුවා. අතින් අල්ලාගත හැකි තරම් මාළු පිරුණු පොකුණු තිබුණා. වන සතුන් මුළුමනින්ම භූමිය අරක් ගෙන සිටියා. මා ඇතුළු වුණේ තරමක් කඳු සහිත ප්‍රදේශයකට. මං ජීවත්වෙන්න පියස්සක් සොයා ගත්තා. හිත අරමුණු කරගෙන භාවනාව පටන් ගත්තා. ඉතාම සරල ශාකමය ආහාර වේලකින් ජීවත් වෙන්න පුරුදු වුණා. අවුරුදු තුනහමාරක් මා භාවනාවෙන් ගත කළා. ඒ මුළු කාලය ඇතුළෙම මං පරිහරණය කළේ ඇඳුම් දෙකක් විතරයි. පාවහන් යුගල විතරයි. මේ කාලය තුළ බොහෝ බිහිසුණු වන සතුන් මගේ ආරණ්‍යයට ආවා. ඔවුන් කිසිම කෙනකුගෙන් මට අල්ප වූ හානියක් සිද්ධ වුණේ නෑ. ඉතාම කටුක ශිශිරයන් පසු කළා. මා පරිසරයේම කොටසක් වනු දැනුණා. ඒ ශීත ඍතු මා පීඩාවට පත් කළේ නෑ.

අවුරුදු තුනහමාරකට පස්සේ එක දවසක මට සියල්ලේ නිස්සාරත්වය ගැන දැනෙන්න ගත්තා. මට කිසිදෙයක් හිමි නැති බව අවබෝධ වුුණා. මේ සිරුරවත් මගේ නොවන බවට වන අවබෝධය ලැබුණා. යම් ගැඹුරක් දැනෙන්න ගත්තා. ජීවිතයේ සිදුවීම් මාලාවන්හි සංකීර්ණය වැටහෙන්න ගත්තා. මට සැමියාත් දරු සිවුදෙනාත් පෙනුණා. මේ ඔවුන් දකින්නට යන්න සුදුසු කාලය කියලා මා කල්පනා කළා. මා ඔවුන් වෙත යන විටත් සැමියා දරුවන් සිවුදෙනා ආරක්ෂා කරගෙන ජීවත් වෙමින් සිටියා.
ජපානයේ පළමු භික්ෂුණිය වූ හැටි

මා ඔවුන් සමඟ ජීවිතය පටන් ගත්තා. නිවෙසට යාබද කුඩා කුටියක මා වෙනම ජීවත් වුණා. වසරක් ගත වන විට සැමියා අපිව හැර ගියා. මට නිශ්චිත පැවිදි දිවියට එන්න කැමැත්තක් ඇතිවුණා. ඒ වන විටත් මගේ ලොකු පුතා පැවිදි බිමට පිවිසෙන්න කැමැත්තෙන් හිටියෙ. ඔහු පැවිදි වුණා. මා දරුවන්ගේ අධ්‍යාපනය හා රැකවරණය සැලසුම් කළා. ඒ වන විටත් කොරියාවේ භික්ෂුණි ශාසනය නෑ. ඒ හින්දා ජපානයට ගියා. ජපානයේ රාජකීය පවුලේ නිකාය තමයි තෙන් දයි ෂූ නිකාය. මා මේ නිකායෙ පැවිද්ද ඉල්ලා සිටියා. එහෙත් ඔවුන් ඊට විරුද්ධ වුණා. ඒත් එම නිකායේ උගත් ධර්මධර භික්ෂුවක් වූ වසාදා ඒ ෂූ භික්ෂුන් වහන්සේ මා භික්ෂුණියක් ලෙස පැවිදි කිරීමට මැදිහත් වුණා. උන්වහන්සේ මා පැවිදි කළා. මා ජපානයේ මෑත බෞද්ධ ඉතිහාසයේ මුල්ම භික්ෂුණිය වුණේ ඒ විදියටයි.

ලංකාවට පැමිණි ගමන
මා මේ දිවයිනට මුලින්ම එන්නේ 2004 අවුරුද්දෙ. ඒ මේ රටේ ඇතිවුණ සුනාමි ව්‍යසනයත් එක්ක. ඒ වෙනකොට මේ රට මළගෙයක් වෙලා තිබුණා. මට අවශ්‍ය වුණා ලංකාවට උදවු කරන්න. ඒ වෙනකොට මට කාර් එකක් තිබුණා. මේ ව්‍යසනයේදී විපතට පත්වූවන්ට සහන සලසන්න ඕන ප්‍රතිපාදන හොයගන්න මාත් වාහනයෙන් දානපතීන් කිහිපදෙනෙක් සොයාගෙන යන විට අධිවේගී මාර්ගයේදී වාහනය අනතුරට ලක් වුණා. ජීවිත අනතුරක් නැතිව බේරුණත් වාහනය මුළුමනින්ම විනාශ වුණා. මං ලංකාවට ආවේ ඒ වාහනයට ලැබුණු රක්ෂණ මුදල අරගෙන. ඇවිත් ලංකාවෙ ව්‍යසනයට පත් වුණු වැසියන්ට උපකාර කළා.

මේ අතර මා කුලියට ගත් වාහනයක ලංකාවෙ බොහෝ තැන්වල ඇවිද්දා. ඒ යනකොට මා දැක්කා දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සහිත පුදබිම. මා කල්පනා කළා කාලයක් මේ වනගත ආරණ්‍යයේ ගත කරන්න. එවකට රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමා මට වැඩ ඉන්න භූමියක් ලබා දුන්නා. මං ටික කාලයක් දිඹුලාගල වැඩ හිටියා. ඒ ඉන්න කාලෙදි මං උත්සාහ කළා ඒ ප්‍රදේශයේ ඇත්තන්ට කෘමිනාශක රහිත කාබනික වගාව හුරු කරන්න. ඒ ව්‍යාපෘති පවත්වාගන්න උදවු කළා.

ලංකාවේ මිනිස්සු
"මා කාලයක් කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ වැඩහිටියා. ඒ කාලෙදි මං උදේ පාන්දර 5ට ගිහින් වෙරළ සුද්ද කරනවා. ටික දවසක් යද්දී මේ කටයුත්තට උදවු වෙන්න මිනිස්සු ටික ටික එකතු වුණා. මා දැක්කා ඔවුන් දුගී මිනිස්සු. මා එක්ක එකතු වෙලා වැඩ කරනවට ඔවුන්ට එක දවසට රුපියල් දෙසීයක මුදලක් දෙන්න තීන්දු කළා. ඉතින් ඔහොම මුදල් දෙනවා. ඔවුන් වැඩ කරනවා. මාත් වැඩ කරනවා. එක දවසක් මේ අය කියනවා මට "මෑණියෝ, දැන්නම් මේ වැඩේ කරන්න රුපියල් දෙසීයක් මදි"කියලා. මං එදා ඒ ඇත්තන්ට කිව්වා. ඇයි දරුවනේ... මේ ඔයාලගෙ රට, ඔයාලගෙ මුහුද ඉතින් ඔයාලගෙ මුහුදු වෙරළ සුද්ද කරන්න ජපානෙ ඉඳන් ආපු මං ඔයාලට සල්ලි දෙන්නෙ මොකටද? මං සල්ලි දුන්නෙ වෙරළ සුද්ද කරනවට නෙවෙයි. ඔය ඇත්තන්ගේ ජීවිතයට පහසුවක් වෙයි කියලා හිතුණු නිසා කියලා. එදා ඉඳන් ඒ ව්‍යපෘතිය අත්හැරුණා.

ඔය අතරෙ මං කල්පනා කළා මේ මිනිස්සුන්ට වන්දනා කරන්න බුදු පිළිම වහන්සේ නමක් එක්ක කුටියක් හදන්න මුහුදු වෙරළ අයිනෙ. බුදු කුටියක් හැදුවා. හදලා ඒක පවිත්‍රව තියාගන්න ක්‍රමවේදයක් හැදුවා. ඒ මෙහෙමයි. මං ගෙනාවා මිරිස් ගලක්. ගෙනත් කුටිය ළඟ තැන්පත් කළා. ඒ ළඟම කැටයක් තිබ්බා. තියලා කිව්වා වන්දනා කරලා මිරිස් ගල උඩ අත්ගල එක පාරක් පිරිමැදලා කාසියක් කැටේට දාන්න කියලා. ඒ කාසි එකතු කරලා මාසෙකට පස්සේ අවට පිරිසුදු කළා. මේ විදිය ජනප්‍රිය වුණා. මේ අතර මං ජපානයට ගිහින් එන්න ගියා. ටික දවසකින් ඇවිත් බුදු පිළිම වහන්සේ ගැන බැලුවා. පිළිම වහන්සේ අවටත් අපිරිසුදු වෙලා. මිරිස් ගලත් නෑ. කවුරුහරි අරන් ගිහින්. පස්සෙ මට ආරංචි වුණා ඒක හොරකම් කරපු පුද්ගලයා ගැන. මට ඒ වග දැනගන්න ලැබුණා කියලා දැනගත්තාම ඔහු මාව හොයාගෙන ඇවිත් වැඳලා සමාව අරන් කිව්වා මිරිස් ගල ගෙනත් දෙන්නම් කියලා. කිව්වා වගේම ගෙනැත් දුන්නා. පහුවදා පොලිසියෙන් මාව හොයගෙන එනවා. මිරිස් ගලක් හොරකම් කිරීම ගැන ප්‍රකාශයක් ගන්න. සිද්ධිය වෙලා තියෙන්නෙ මෙහෙමයි. පිළිමය ළඟ තිබුණු ගල හොරකම් කළ පුද්ගලයා ඒක කෙනෙකුට විකුණලා. ආයෙත් ඔහු ඒ ගල මට ගෙනත් දීලා තියෙන්නේ එයා කලින් ඒ ගල විකුණපු තැනින් හොරකම් කරලා. මිනිස්සු එහෙම තමයි."

මියෝ අයි තෙරණියෝ අප දෙස බලා සිනාසෙති. උන්වහන්සේගේ සිනාවෙහි ගැබ්ව ඇත්තේ සරදමක හෝ ද්වේෂයක ලකුණු නොවේ.
"මං ලංකාවට ආදරය කරන්න විශේෂ හේතුවක් තියෙනවා. මේ රට තමයි පිරිසුදු බුදු දහම ආරක්ෂා වෙලා තියෙන තැන. අනෙක මේ රට මහ පුදුමාකාර රටක්. තාක්ෂණයේ දැනුම් කේන්ද්‍රයක්. ආයුර්වේදය, දේශීය වෙදකම කියන්නෙ දැවැන්ත දැනුම් සම්භාරයක්. විශ්වශක්තිය දැවැන්ත විදියට සංකේන්ද්‍රනය වූ තැනක්. මට දැනෙන විදියට මේ රට හරහා තමයි ලෝකයේ බොහෝ තැන්වලට දැනුම ගාලාගෙන ගියේ. ඔබ හිතනවා ඔබේ රට ඉන්දියාවෙ කඳුළු බින්දුව කියලා. ලෝක සිතියම අනෙක් පැත්ත හරවලා බලන්න. එතකොට පෙනෙන්නේ මේ පුංචි රට තමයි ඉන්දියාවේ සිරස. ඊට ඒ වටිනාකම ලබා ගැනීම මේ රටේ හැම පුරවැසියකුගේම වගකීම."

උන්වහන්සේ කියන කතාව අපට අප ගැන සිතන්නට බල කරයි. ඒ සමඟම උන්වහන්සේ තවත් දැනුම පරාසයක් ගැන වදාරති.
"මේ රටට කේන්ද්‍රගතව තිබුණු දැවැන්ත විශ්ව ශක්තියේ බලය මීට අවුරුදු 850කට කලින් නැතිවෙලා ගියා. එහෙම වෙන්නෙ විදේශ අක්‍රමණ එක්ක. එහෙත් යහපත් ආධ්‍යාත්මික දැක්මක් සහිත නායකයකුට නැවතත් මේ රට ගොඩනඟන්න පුළුවන්........"
අවසාන වශයෙන්ම මම උන්වහන්සේව විමසීමි.

"ඔබ වහන්සේ එහෙම කෙනෙක් ගැන දකිනවාද?"
මියෝ අයි තෙරණියෝ උපශාන්ත සිනාවක් මුවට නඟා ගත්හ."
"දරුවො....... මං ලංකාවට ඇවිත් හැම තැනම ඇවිදිනවා. බොහොමයක් දෙනෙක් දකිනවා. පුද්ගලයො මුණගැහෙනවා. ඒත් මේ රටට අවශ්‍ය ඒ දියුණු ආධ්‍යාත්මික දැක්මක් සහිත පුද්ගලයා තවම මට හමුවුණේ නෑ."

සමුගෙන පිටව එන මොහොතේත් මියෝ අයි තෙරණියන්ගේ හඬ ඇසී නොඇසී යයි. අප ඉතිහාසය පුරා එවන් කෙනකු ප්‍රාර්ථනා කරමින් සිටිනා මිනිසුන් බව උන්වහන්සේ නොදනිති. එවැනි පුද්ගල ප්‍රතිරූපවලට අනේක වාරයක් රැවටී බලාපොරොත්තු සුං කරගත් මිනිසුන් බව නොදනිති. මියෝ අයි තෙරණියන් සේම අපිත් තවම ඒ පුද්ගලයා සොයමින් සිටිමු.

ජානක ලියනආරච්චි
ඡායරූප -
වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon