මහින්දට ගැළපෙන්නේ ‘ජාතියේ පියා’ යන ගරු නාමයයි

  👤  3876 readers have read this article !
By mawbima 2017-11-20

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

මෙරට පැවැති තිස් අවුරුදු යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්‍ෂ මහතාට 'ජාතියේ පියා' කියන ගෞරව නාමය ඉතාමත් ගැළපෙන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමි අතිපූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ සඳහන් කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් ඒ මහතා පෙරේදා (18දා) දළදා වහන්සේ වැඳ පුදාගෙන ශ්‍රී දළදා මාලිගාවේදී පැවැති සංඝගත දක්‍ෂිණාවේදී අනුශාසනාවක් කළ අනුනාහිමියෝ එසේ පැවැසූහ.
අනුනාහිමියෝ මෙසේ ද පැවැසූහ.

මල්වතු අස්ගිරි මහා විහාර දෙකෙන්ම රෝහණ ජනරංජන කියන සුවිශේෂ අභිමානවත් සම්මානයෙන් යුතු මහ ගෞරව නාමය මහ නාහිමිවරුන් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දුන්නා. ඒ සම්මානය සමඟ ගිය ගමන් මඟ අවසානයේදී මේ දළදා මැඳුර අබියස මඟුල් මඩුවේදී මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් "විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර" ගෞරව නාමයද මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනැමුවා. තිස් අවුරුදු යුද්ධය නිම කිරීම නිමිත්තෙන් විශ්ව කීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධීශ්වර කියන ගෞරව නාමය මඟුල් මඩුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනමන අවස්ථාවේදී මට සිහිවුණේ ජාතියේ පියා කියන ගෞරව නාමය ඔබතුමාට ගැළපෙන බවයි. එදා මේ රටේ තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කර මහින්ද රාජපක්‍ෂ මහතා ගුවනින් පැමිණ මේ රටට ගොඩබැස මහ පොළොව සිපගත් ආකාරය මේ රටේ කිසිවකුටත් අමතක කරන්න බැහැ. ඒ නිසා ඔබතුමාගේ ඉදිරි ගමන් මඟට යම් බාධකයක් පවතී නම් එය දුරුවී දළදා හිමිගේ සරණින් රටට ජාතියට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්න අවස්ථාව හිමිවේවායි අප ප්‍රාර්ථනා කරනවා.

මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි නියංගොඩ විජිතසිරි හිමියන් කිසිදිනක ඔබතුමාට හිටපු ජනාධිපති කියන්නේ නැහැ. සෑම විටම උන්වහන්සේ කියන්නේ මෙරට පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියලයි. එක අතකින් ඔබතුමා පරාජයට පත් වුණ එකත් හොඳයි. එලෙස වෙන්න ඇත්තේ නැවත ගමන් මඟකට අඩිතාලම සකස් කරගන්න අපල උපද්‍රව දුරුවෙන්න වෙන්නැති. මේ රටේ ජනතාවට එදත් හොඳට තේරුණා. අදත් හොඳට තේරෙනවා. ඒ නිසා යළි ඔබතුමාට දේශපාලන ගමන්මඟ එළි පෙහෙළි වෙන බව ද උන්වහන්සේ කීහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon