ඉසුරු සොයා සෞදි ගිය එක් දරු මව බරපතළ තුවාල ලබා වසරකට පසු නිවෙසට

  👤  3381 readers have read this article !
By mawbima 2017-11-20

සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගලේවෙලින් පිටත්ව ගිය එක් දරු මවක් වසරකට පසු බරපතළ තුවාල සහිතව පෙරේදා (18දා) අලුයම සිය නිවෙසට පැමිණීමේ සිද්ධියක් වාර්තා වෙයි.

බරපතළ ලෙස පහර කෑමට ලක්ව ඇති මෙම ගෘහ සේවිකාව නිවෙසට පැමිණීමත් සමඟ ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. මෙසේ දිවි බේරාගෙන මෙරටට පැමිණ ඇත්තේ ගලේවෙල බඹරගස්වැව පදිංචි ඩබ්ලිව්.ඩී. කාංචනා කුමාරි (33) එක්දරු මවකි.
වයස අවුරුදු හතරක් වූ කුඩා දියණිය නිවෙසේ දමා මෙම කාන්තාව 2016 සැප්තැම්බර් මස 5දා සෞදි ගෘහ සේවය සඳහා කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා ඇගේ කැමැත්ත මත විදේශ ගත වූ බව කාංචනා පවසන්නීය.


තමාව සෞදියේ දමාම් ප්‍රදේශයේ නිවෙසක ගෘහ සේවය සඳහා යෙද වූ බවත් මාස තුනක පමණ කාලයක් එම නිවෙසෙහි සේවය සඳහා වැටුප් ලබාදුන් බවත් ඇය පවසන්නීය. පසුව දිගින් දිගටම ආහාර, ඇඳුම් පැලඳුම්, වැටුප් සියල්ල අත්හිටුවා දැඩි ලෙස වධ දෙන්නට පටන්ගත් බව ඇය හඬමින් පැවැසුවාය. මේ වනවිට ඇයගේ සිරුරේ සහ අත්පාවල කැපුම් තුවාල වෙයි. ඇස්වල බරපතළ තුවාල ඇත. එමෙන්ම කොන්දේ සහ කකුල්වල බරපතළ තුවාල දැක ගැනීමට හැකිවූ ඇයගේ දත් පවා කඩා ඇති අයුරුද දැක ගැනීමට හැකියාව ලැබිණි. නිසියාකාරව ඇවිද ගැනීමටවත් නොහැකිව ගත වාරු නොමැතිව ඇය සිටින ආකාරයද එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.
තමන්ට විඳින්නට සිදුවූ කටුක අත්දැකීම් පිළිබඳ ඇය කියා සිටි අතර දිගින් දිගටම මේ ආකාරයෙන් පහර දුන් බව කීවාය. තම සැමියා සහ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව තමන්ට එම නිවෙසෙන් ඒමට හැකියාව ලැබුණු බවත් වැටුප් හා කිසිවක් නොමැතිව කළුපාටට හුරු රෙදි කැබැල්ලකින් ඔතා ගුවන්තොටුපොළට ගෙනැවිත් දැමූ බවත් ගුවන් තොටුපොළේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සායක් හා හැට්ටයක් ලබාදීමෙන් එය ඇඳගෙන තමා ලංකාවට පැමිණි බවත් කීවාය.

මෙම කාන්තාවගේ සැමියා වූ සමන් කුමාර බණ්ඩාර මහතා කියා සිටියේ සිදුවූ හානියට වන්දි මුදලක් අවශ්‍ය කරන බවයි. එමෙන්ම ගෘහ සේවය සඳහා ගොස් බරපතළ තුවාල ලබා පැමිණ සිටින කාංචනා කුමාරි මහත්මියගේ නැන්දම්මා වූ ඩබ්ලිව්.එම්. මුතුමැණිකා මහත්මිය කියා සිටියේ ඉතාමත් ලස්සනට සිටි ලේලිය ගෙදර එනවිට විකෘතිව සිටින බවයි. බරපතළ අසාධ්‍ය තත්ත්වයේ සිටින ඇය සිය සැමියා විසින් 18දා පෙරවරුවේ ගලේවෙල රෝහලට රැගෙන ඒමට පියවර ගන්නා ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

තමන් අත්දුටු සිද්ධිය පිළිබඳ ඇය මෙසේ අප සමඟ පැවැසුවාය.
"මගේ දුව ඉස්කෝලෙ යන්න කලින් ගේ හදාගන්න ඕන නිසා අවුරුදු දෙකකට රට යන්න තමයි මම තීරණය කළේ. මට අම්මත් මහත්තයාත් රට යන්න එපා කිව්වා. ඒත් අපි හිටපු ආර්ථික දුෂ්කරතාව නිසා දුවගේ අධ්‍යාපනය ගැන හිතලා තමයි මම සෞදියට යන්න තීරණය කළේ. ඒ අනුව අපේ ගමේ මාමා කෙනෙක් හිටියා. එයා හරහා සෞදි යන්න කුරුණෑගල පැත්තේ ඒජන්සියකින් තමයි මම රට යන්න සූදානම් වුණේ. මගේ දුවට අවුරුදු හතරක් නිසා රුපියල් විසිපන්දාහක් අරගෙන ඒ මහත්තුරු හොර ලියවිලි ඔක්කොම හැදුවා. ඒ කුරුණෑගල ඒජන්සියෙන්."

"ඒ ගිහිල්ලා මාස දෙකක් විතර යනකන් ප්‍රශ්නයක් ඇති වුණේ නෑ. මාස දෙකෙන් පස්සෙ පඩි ඉල්ලන කොට තමයි මට ගහන්න පටන් ගත්තේ. ඒ ගෙදර හිටපු මැඩම් හරිම වසයි. අහුවෙච්ච අහුවෙච්ච එකෙන් ගහනවා. පිහිය අරගෙන මගේ ඇඟ හැමතැනම කපනවා. මගේ නියපොතු ඇඟිලි තළලා තියෙන්නේ. යකඩ හැඳිවලින් ඔළුවට ගහලා ඔළුව හැමතැනම තුවාලයි. පිටකොන්ද, කලව, අත් පය මේ ඔක්කොම ගහලා ගහලා කපලා තියෙන්නෙ. එක දවසක් මගේ එක ඇසක් එළියට එන්න ගැහුවා. බෙහෙත් ටිකක් දාන්න ගියේ නැහැ. ඒ වගේම කන්න දෙන්නෑ. කුණු බාල්දියේ තියෙන ඒවා තමයි කන්නේ. මාව කාමරයකට දාලා වහලා තියෙනවා කන්න බොන්න නැතිව. හයියෙන් කෑ ගහනකොට බිම දාලා බඩ පාගනවා. ගෙදර මහත්තයාත් නෝනත් දෙන්නම හොඳට ගහනවා. ඒ ගෙදර මම එන්න කලින් තවත් ලංකාවෙ කෙනෙක් ඉඳලා තියෙනවා. එයාව අරන් ගිහිල්ලා කොහේ දැම්මාද, කොහෙද කියලා නෑ. මරනවා කියල තමයි කිව්වේ."

"ගෙදරට කතා කරන්න ඕන කිව්වහම පිහියක් ළඟ තියාගෙන අම්මට දුරකතනය අරන් දෙනවා හොඳින් ඉන්නවා කියලා කියන්න කියනවා. කෑවා බිව්වා කියලා කියන්න කියනවා.
පිහිය පිටි පස්සෙන් තියාගෙන ඉන්න හින්ද මට අම්මලාට ඇත්ත කියන්න විදියක් නෑ. හැබැයි පස්සෙ අම්මලත් එක්කවත් මට කතා කරන්න දුන්නේ නෑ. අම්මා මේ භාෂාව දන්න හින්දා මැඩම් එක්ක කතා කරනවා. මට කතා කරන්න දෙන්නෙ නැතිවට අම්මට සැක හිතිලා මට මොනවා හරි කරදරයක් කියලා. ඊට පස්සේ තමයි ඒජන්සියට කියලා විදේශ නියුක්ති කාර්යාංශය හරහා තානාපති කාර්යාලය දැනුවත් කරලා මට එන්න හැකියාව ලැබුණේ. ටිකට් හදලා තියෙන්නේ මගේ සල්ලිවලට. අඩුම තරමේ රුපියලක්වත් දුන්නේ නෑ. ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා කළුපාට කබායක් ඇඟට දාලා මාව ගුවන් තොටුපොළට ගෙනත් දැම්මා. සෙරෙප්පු දෙකක්වත් නැතිව. එතැන හිටපු ලංකාවේ අක්කා කෙනෙක් දැකලා මට එයාගේ බෑග් එකෙන් සායකුයි හැට්ටයකුයි දුන්නා. තවත් අක්කා කෙනෙක් සෙරෙප්පු දෙකක් දුන්නා. ඒවා ඇඳගෙන තමයි මම ලංකාවට ආවේ."
කාන්තාව ව්‍යාජ ලියකියවිලි සකසා ගෘහ සේවයට යැවූ කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයේ ප්‍රධානියාගෙන් මේ පිළිබඳ විමසීමේදී කීවේ ලිපිගොනු නොබලා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
දඹුල්ල - කේ.කේ. ආරියදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon