මිනිස් පරිභෝජනයට නුසුදුසු විදෙස් රටකින් ගෙනා ලොකු ලූනු කන්ටේනරයක් ගලේවෙලදී පොලිස් භාරයට

  👤  3332 readers have read this article !
By mawbima 2017-11-20

දඹුල්ල - කේ.කේ. ආරියදාස, ගලේවෙල - තිලක් පල්ලෙගෙදර

මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින විදේශ රටකින් ගෙන්වන ලද ලොකු ලූනු කන්ටේනර් රථයක් ගලේවෙල දේවහුව බුලනවැව ප්‍රදේශයේදී තවත් ලොරියකට පටවමින් සිටියදී කන්ටේනර් රථය සහ එම ලොරි රථය සැකපිට අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් සහිතව කන්ටේනර් රථයකින් ලොකු ලූනු තොගයක් තවත් ලොරියකට මාරු කරමින් සිටින බවට ගලේවෙල පොලිසියට ලද තොරතුරක් අනුව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානාච්චි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහාම එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමේදී මේ ලොකු ලූනු තොගය කන්ටේනර් රථයේ පැළ වී කුණු වී විනාශ වී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි. විශාල වශයෙන් මෙම ලූනු ගෙන්වා ඇත්තේ කොළඹ වරායේ සිට බුලනවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. එම තැනැත්තා කියා සිටියේ නරක් වී ඇති ලොකු ලූනු ඉවත්කොට ඉතිරි ආහාරයට ගැනීමට සුදුසු ඒවා පමණක් අලෙවි කිරීම සිදුකරන බවය.

භාවිතයෙන් ඉවත් කරන ලොකු ලූනු තොගය වරාය මඟින් වෙන්දේසි කළ බවත් එම වෙන්දේසිය කිලෝවක් රුපියල් තිස්එක බැගින් ලූනු තොග මිලදී ගත් බවත් ව්‍යාපාරිකයා පොලිස් ස්ථානාධිපතිවරයාට කියන්නට විය.

ඒ අනුව ලූනු තොග පැටවූ කන්ටේනර් රථය සහ අනිත් ලොකු ලූනු ඉවත් කර තිබූ ලොරි රථ දෙකම ගලේවෙල පොලිසිය වෙත රැගෙන එන්නට විය.
මේ ලොකු ලූනු තොග පරීක්ෂා කළ ගලේවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඩී. දයාරත්න මහතා මෙන්ම දේවහුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. අබේසිංහ දෙදෙනා කියා සිටියේ කිසිදු ආකාරයකින් මේ ලූනු තොග ආහාරයට ගැනීමට නුසුදුසු බවත් ආහාරයට සුදුසු නුසුදුසු තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ වගකීම දරන්නේ තමන් බවය. මේ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon