අපට ඊළමක් අවශ්‍ය නෑ

  👤  3378 readers have read this article !
By mawbima 2017-11-20

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට පැවැති මතය යටපත් කරමින් මේ වන විට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැතැයි යන මතය ඉස්මතු වෙනවා නේද?
මට නම් එහෙම පේන්නේ නැහැ. මේ පිළිබඳ දින 05ක් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණා. කවුරුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා කිව්වේ නැහැ.
නමුත් ඇතැම් සංඝයා වහන්සේ, දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැති බව කියනවා?
ඔවුන්ට විතරක් අවශ්‍ය නිසා නෙවෙයි මේ ව්‍යවස්ථාව සකස් කරන්නේ. අනෙක ඔවුන්ට නෙවෙයි ජනතාව ජනවරමක් ලබා දුනනේ පාර්ලිමේන්තුවටනේ. ඒකාබද්ධ විපක්‍ෂය පවා ව්‍යවස්ථාවක් එපා කියලා කිව්වේ නැහැ. අපි කටයුතු කරන්නේ ජනවරම අනුවයි.

ඔබ කුමන තර්ක ඉදිරිපත් කළත් ඇතැම් පාර්ශ්ව තර්ක කරන්නේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ආණ්ඩුවට ජනවරමක් ලැබී නැහැ කියලා?
මම පැහැදිලිව පෙන්වාදී තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ජනවරම ලැබී ඇති ආකාරය. පළමුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමයි ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තිබුණේ. වසරක් ඇතුළත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනවා කියලා එහි තිබුණා. මෙරට ඡන්ද දායකයන්ගෙන් සියයට 97ක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් ලබාදී තිබෙනවා. ඒ කියන්නේ පසුගිය ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනාම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට සිය මැතිවරණ ප්‍රකාශවල සඳහන් කර තිබුණා. ඉතින් කොහොමද කියන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනවරමක් නැහැ කියලා.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82-2 වගන්තිය අනුව ව්‍යවස්ථාදායකයට එම බලතල තිබෙන වෙනත් කිසිම අධිකාරියක් පිහිටුවිය නොහැකි බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බල රහිත වන බවත් මෙම ක්‍රියාවලිය නීත්‍යනුකූල නොවන බවටත් තර්ක ඉදිරිපත් වෙනවා?

මේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත් කරලා ඉන්නේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අය විතරයි. මේකට බාහිරින් කවුරුත් පත් කරලා නැහැ. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ බලය පිටට ගොස් නැහැ. 2016 මාර්තු මස 09 වැනිදා අධිකරණ අමාත්‍යවරයා වුණේ විජයදාස රාජපක්‍ෂ මහතා. එතනදී ඔහු කිසිම විරුද්ධත්වයක් දැක්වූයේ නැහැ. එම යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

අනෙක ඔහු එම මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙක්. එහි රැස්වීම් වාර 73ක් තිබුණා. එයින් පනහකට වැඩි රැස්වීම් ගණනකට වඩා ඔහු සක්‍රිය ලෙස සහභාගි වුණා. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අතුරු වාර්තාවේ කොටසක් කෙටුම්පත් කළෙත් එතුමාමයි. ඉතින් දැන් කොහොමද ඔහු කියන්නේ මේක නීත්‍යනුකූල නැහැ කියලා?
ඔහු චෝදනා කරන්නේ ඔහු එම කමිටුවේ සිටිනතාක් කල් කටයුතු නිවැරැදිව සිදුවුණාලු. පසුව විදෙස් බලපෑම් මත එක් එක් බාහිර කණ්ඩායම් බලපෑම් මත අතුරු වාර්තාව වෙනස් වුණා කියලා තමයි.

අපි සෑම මෙහෙයුම් කමිටු රැස්වීමක්ම රෙකෝඩ් කරනවා. දැන් තීරණය කරලා තිබෙනවා ඒවා කෙටුම්පත් කරලා ප්‍රසිද්ධ කරන්නත්. ඒ නිසා එතුමා කරනු ලබන චෝදනා කිසිවක් සිදුවුණේ නැහැ. එතුමා ගොඩක් සහයෝගය ලබාදුන්නා මේ වාර්තාව සකස් කරන්න. එතුමා එහි කොටසක් කෙටුම්පත් කරන අවස්ථාවේ ඔහුට යම් බලපෑමක් ඇවිත් වෙනස් කළාද කියලා නම් මම දන්නේ නැහැ. ඒ හැරෙන්න එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ.

මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පත් කළ යුත්තේ තේරීම් කාරක සභාවක් මඟින් කියන නීති තර්කය පැහැදිලි කළොත්?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 65 වැනි වගන්තිය බලන්න. එහි තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කර සම්මත කර ගත යුතුයි කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ බලය ලබාදී තිබෙන්නේ පාර්ලිමේන්තුවට. ව්‍යවස්ථාවේ 64(2) බැලුවොත් එහි තිබෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා නිශ්චිත ක්‍රියාවලියක් දක්වා නැත්නම් එය තීරණය කිරීමේ අයිතිය පාර්ලිමේන්තුවට තිබෙනවා කියලා. ඒ අනුව යෝජනා සම්මතයක් මඟින් නව ව්‍යවස්ථාවක් සඳහා වන ක්‍රියාවලියක් යෝජනා කර ගැනීමේ හැකියාව තිබෙනවා. විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රිවරයා ඔහුගේ අමත්‍ය ධුරයෙන් ඉවත් කළාට පසු දැන් ඒ අවස්ථාව තියෙනවා.
මේ අතුරු වාර්තාවේ තිබෙන්නේ ඔබගෙයි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිවරයාගෙයි අදහස් විතරයි කියලත් චෝදනා එල්ල වෙනවා?

ඒක මම ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තාවේ කොටසක්ම කෙටුම්පත් කළේ විජයදාස රාජපක්‍ෂ මන්ත්‍රිවරයා. මම මේ කමිටුවේ සාමාජිකයෙක්. මම නිකම් ඉන්නේ නැහැ. මගේ අදහස් මම ඉදිරිපත් කරනවා. මම ජයම්පති වික්‍රමරත්න, විජයදාස රාජපක්‍ෂ කියන්නේ මේ මෙහෙයුම් කමිටුවේ ඉන්න ශේ්‍රෂ්ඨාධිකරණ හා ව්‍යවස්ථාව හොඳින් පරිශීලනය කළ අයයි. මේ නිසා අපි නිතරම අග්‍රාමාත්‍යවරයා සමඟ නීති තර්ක පිළිබඳ සාකච්ඡා කළා.
ඒකීය රාජ්‍ය යන්නෙහි දෙමළ අර්ථය ඔටි්‍රයාච්චි. ඇයි එයට ඔරුමිත්ත නාඩු යන වචනයක් ඇතුළත් කිරීමට යෝජනා කර තිබෙන්නේ. ඔරුමිත්ත නාඩු යන්නෙහි අර්ථය එක්සත් නේද?
නැහැ. ඔබ කියන දේ සම්පූර්ණයෙන්ම වැරැදි. අතුරු වාර්තාවේ ඔරුමිත්ත නාඩු යන්න අපි පැහැදිලිව අර්ථ දක්වලා තිබෙනවා. ඒක ආපසු කියවා බලන්න කියලා ඒ අයට කියනවා. ඒකීය රාජ්‍යය යන්නට නිවැරැදි අර්ථය වන්නේ ඔරුමිත්ත නාඩු යන්නයි. හේතුව මේ වන විට ලෝකයේම යුනිටරි යන්නෙහි අර්ථයත් වෙනස්වී තිබෙන නිසා අපි ඔරුමිත්ත නාඩු යන වචනය නිකම් දැම්මේ නැහැ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාම කියනවානේ ඔරුමිත්ත නාඩු කියන්නේ එක්සත් රාජ්‍ය කියලා?
ඔව්. විග්නේශ්වරන් මහත්තයා, විජයදාස රාජපක්‍ෂ මහත්තයා, මහින්ද රාජපක්‍ෂ මහත්තයා මේ හැමෝම ඉන්නේ එකම මතයකනේ. මේක ගැන අපි මෙහෙයුම් කමිටුවේදී ගොඩක් සාකච්ඡා කළා. ඒකීය රාජ්‍යයෙන් කියවෙන්නේ රට එකට තියෙන්න ඕන කියන අදහසයි. විශේෂයෙන් එයින් කියැවෙන්නේ රාජ්‍යයේ පාලන ක්‍රමය ගැන නොවෙයි. රාජ්‍යයේ ස්වභාවයයි ඔටි්‍රයාච්චි කියන්නේ. සිස්ටම් ඔෆ් ගවමන්ට්. ඔටි්‍රයාච්චි නැත්නම් සිස්ටම් ඔෆ් ගවමන්ට් යන්නෙන් රටක් කියැවෙන්නේ නැහැ. එයින් කියැවෙන්නේ පාලන ක්‍රමය පිළිබඳවයි. ඒ අනුව ඒකීය හා ඔටි්‍රයාච්චි යන වචන දෙක අතර ලොකු වෙනසක් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් යම් ගැටලුවක් පැන නැඟුණොත් බලපැවැත්වෙන්නේ සිංහල වචනය නේද?
අතුරු ව්‍යවස්ථාවේ යෝජනා කරලා තිබෙන්නේ සිංහලෙන් ඒකීය රාජ්‍ය පමණක් හා දෙමළෙන් ඔරුමිත්ත නාඩු යන වචනය පමණක් ඇතුළත් කිරීමට නොවෙයි. සිංහල, දෙමළ හා ඉංගී්‍රසි යන කෙටුම්පත් තුනටම ඒකීය රාජ්‍ය ඔරුමිත්ත නාඩු කියලා ඇතුළත් කරන්නයි යෝජනා කරලා තිබෙන්නේ. එහි අර්ථකථනයත් ඊට යටින්ම දක්වා තිබෙනවා. නොබෙදුණු හා නොබෙදිය හැකි රාජ්‍යයක් කියලා එතකොට කාටවත් අධිකරණයට ගොස් එහි අර්ථකථන ගැනීමේ අවශ්‍යතාව ඇති වෙන්නේ නැහැ.
යමකු රාජ්‍යයෙන් වෙන්ව යෑම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නම් ඒ සඳහා දඬුවමක් අතුරු වාර්තාවේ සඳහන් නොවෙන්නේ ඇයි?
මේක අතුරු වාර්තාවක් විතරයි. කෙටුම්පතක් නොවෙයි. නමුත් එහි සඳහන් වෙනවා වෙන්ව යෑමට එරෙහිව වගන්ති ඇතුළත් කළ යුතු බව.
වර්තමාන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව වෙනත් ආගම් ඇදහීමට කුමන හෝ බාධාවක් තිබෙන බව ඔබ දකිනවාද?
නැහැ. මම කියන්නේ ඔය දේ ගැන නෙවෙයි. දැන් මේ අය කියන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕන කියලනේ. එතකොට නිරායාසයෙන්ම අනෙක් ආගම් දෙවැනි තැනට වැටෙනවානේ. එතකොට කාටහරි කියන්න පුළුවන්ද මේ රටේ සෑම පුරවැසියෙක්ම එක සමානයි කියලා. එතකොට අපි කාටවත් කියන්න බැහැ මේ රටේ සෑම පුරවැසියෙක්ම එක සමානයි කියලා. සෑම පුරවැසියකුටම සමාන අයිතිවාසිකම් ලබාදීලා තිබෙනවා කියලා.

රටේ එක් කොටසකට ප්‍රමුඛස්ථානය දෙනවා කියන්නේ තවත් කොටසක් රටේ දෙවැනි පුරවැසි ගණයට වැටෙනවා කියන එකනේ. නමුත් ඔවුන්ට ප්‍රමුඛස්ථානය අවශ්‍ය නම් ඒකට අපේ විරුද්ධත්වයක් නැහැ. ඊට පස්සේ කියන්න එපා අපේ රටේ තමයි සෑම පුරවැසියකුටම සමානාත්මතාවයෙන් සලකන ලෝකයේ හොඳම ව්‍යවස්ථාව තියෙන්නේ කියලා.
ඔබ කියන්නේ 9 වැනි වගන්තිය එයාකාරයෙන්ම තිබීම දෙමළ ජාතික සන්ධානය එකඟයි කියලද?
මම ඉතා පැහැදිලිව කිව්වා ඔබලා කැමැති නම් 9 වැනි වගන්තිය එයාකාරයෙන්ම තියා ගන්න කියලා. ඒක ගැන අපට ප්‍රශ්නයක් නැහැ.
පළාත් සභාවලට බලය ලබා දෙනවා කියන්නේ ෆෙඩරල් රාජ්‍ය බිහිවීමක්, රට බෙදීයෑමක්ද?

ඒක සම්පූර්ණ වැරැදි මතයක්. ලෝකය දිහා බැලුවාම වෙන්වීමට අවශ්‍ය යැයි පැවැසූ රාජ්‍යයන් තම මතය ඉවත් කර ගත්තේ ඒ රාජ්‍යවලට බලය දුන්නාට පසුවයි. ස්කොට්ලන්තයට ජනමත විචාරණයක් තියලා ඇහුවා වෙන්ව යෑමට අවශ්‍යද කියලා. ඔවුන් කිව්වා මේ තිබෙන බලය ඇති අපිට වෙන් වෙන්න අවශ්‍ය නැහැ කියලා. බලය නොදුන්නාම තමයි වෙන් වෙන අදහස් වැඩි වෙන්නේ.

අතුරු වාර්තාව අනුව පළාත් සභාවක හදිසි අවශ්‍යතාවක් ඇති වුණොත් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමේ හැකියාවක් තිබෙනවාද?
ඔව්. යම් පළාත් සභාවක් වෙන්ව යෑම සම්බන්ධයෙන් කටයුතු කළොත් ඒ සඳහා සෘජුවම ජනාධිපතිවරයාට මැදිහත්වීමේ හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයාගේ විධායක බලතල ඉවත් කළත් මේ විශේෂ බලය ජනාධිපතිවරයාට ලබාදීමට එකඟවී තිබෙනවා. වෙන් වෙනවා කියන සැකය නිසාමයි මේ බලය ජනාධිපතිවරයාට ලබාදීමට යෝජනා කෙරුණේ.
ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකිරීම මඟින් යම් පළාත් සභාවකට අත්තනෝමතිකව කටයුතු කිරීමේ අවස්ථාව ලැබෙනවා නේද?

අපි කියන්නේ යම් පළාතක ජීවත්වන අයට එම පළාත ගැන තීරණ ගන්න බලයක් තිබෙන්න ඕන. ඉතින් හොඳ ආණ්ඩුකාරවරයකු පත් කර ගැනීමේ බලයත් ඔවුන්ටමයි තිබෙන්න ඕන. මධ්‍යම ආණ්ඩුවෙන් ආණ්ඩුකාරවරයා පත් කළොත් බලය බෙදීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නම් පළාත් සභාවක් අවශ්‍ය නැහැ. පළාත් සභාවලට ආණ්ඩුකාරවරු පත් කරලා බලය දුන්නා කියමු එතකොට කෙහොමද ජනතාව අතට බලය පත්වෙන්නේ. එහෙම බලය බෙදීමකින් ඇති ඵලය මොකක්ද. බලය බෙදීම අර්ථවත් වෙන්නේ මේ වන විට ආණ්ඩුකාරවරයාට තිබෙන බලතල අඩු කළොත් විතරයි.

මේ අදහස උතුර, නැඟෙනහිර මහ ඇමැතිවරු කිව්වේ නැහැ. අනෙක් පළාත්වල මහ ඇමැතිවරු තමයි කිව්වේ ආණ්ඩුකාරවයාගේ බලතල අඩු කරන්න ඕන කියලා. එක් මහ ඇමැතිවරයෙක් යෝජනා කළා, ආණ්ඩුකාර ධුරයම අවශ්‍ය නැහැ කියලත්. විපක්‍ෂ නායකවරයාත් ආණ්ඩුකාරයාගේ බලතල අඩු කරන්න ඕන කියලා යෝජනා කරලා තිබුණා.
අහෝසි කරනවා නම් ඊට කලින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුයි කියනවා?

ඒක වැරැදි අදහසක්. මේ වසරේ අගෝස්තු 04 වැනිදා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දුන්නා. මෙයාලා බලන්නේ මීට වසර 30කට කළින් ලබාදුන් නඩු තීන්දුවක් ගැනයි. නමුත් මේ වසර 30 තුළ නීතිය හුඟාක් වෙනස් වෙලා. මේ නඩු තීන්දුවේ කියලා තිබෙනවා. ඒකීය ෆෙඩරල් එක්සත් මේ සංකල්ප තිබුණාට එහි අර්ථ පාලන ක්‍රමය අනුව වෙනස් වෙන්න පුළුවන් කියලා. ෆෙඩරල් කීවාම දැන් ඔස්ටි්‍රයාවේ ෆෙඩරල් ක්‍රමය නෙවෙයි කැනඩාවේ තිබෙන්නේ. ඔස්ටි්‍රයාව ෆෙඩරල් කීවාට එහි ක්‍රියාත්මක වෙන්නේ යුනිටරි එස්ටේට් එකක්. එදා 13 සංශෝධනයට ලබාදුන් නඩු තීන්දුව දැන් වලංගු වන්නේ නැහැ.
උතුරු හා නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට යෝජනා කර තිබෙනවා. ජනවාර්ගික පදනමින් පළාතක් ඒකාබද්ධ කිරීමෙන් හෝ වෙන් කිරීමෙන් එම පළාතේ ජනතාවට වන විශේෂ වාසිය කුමක්ද?
උතුර, නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම අලුත් දෙයක් නෙවෙයි. අලුත් ඉල්ලීමකුත් නෙවෙයි. එම පළාත් වසර 18ක් ඒකාබද්ධ කර තිබුණා. මුස්ලිම් පක්‍ෂ කිහිපයක් මේකට විරුද්ධයි. නමුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නිල වශයෙන් මේ ගැන සඳහන් කරලා නැහැ.
යුද්ධය අවසන් වූ ගමන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉවර වුණා. ඔවුන්ට තියෙන්නේ එදිනෙදා ජීවත්වීමට ඇති ආර්ථික ප්‍රශ්නත්, බයක් සැකයක් නැතිව ඉන්න පුළුවන් සමාජ වටපිටාවත් කියනවා. ඒ හැරෙන්න විශේෂ ප්‍රශ්නයක් නැහැ කියනවා?

ඒ ප්‍රශ්නේම උත්තරයකුත් තිබෙනවා. මේ රටේ සියයට 70ක් දෙමළ ජනතාවක් හා සියයට 30ක් සිංහල ජනතාවක් හිටියා කියලා හිතමු. එතකොට අපිට බලය බෙදලා දෙන්න කියලා සිංහල අය කියන්නේ නැද්ද? යුද්ධය අවසන් වුණාට දේශපාලන ගැටලුවට විසඳුමක් ලැබුණේ නැහැනේ.

ප්‍රභාකරන්ට යුද්ධයෙන් ලබා ගැනීමට නොහැකි වුණු ඊළම ව්‍යවස්ථාව මඟින් ලබා ගන්න උත්සාහ දරනවාද?
අපි ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා අපිට ඊළමක් අවශ්‍ය නැති බව. අප මැතිවරණ ප්‍රකාශවල පැහැදිලිව ඉල්ලා තිබෙන්නේ ජාතික ගැටලුවට සාධාරණ විසඳුමක්. ඒ හැරෙන්න වෙනම රටක් නෙවෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon