හොරු අල්ලනවා වෙනුවට ආණ්ඩුව හොරු රකිනවා

  👤  3347 readers have read this article !
By mawbima 2017-11-20

හොරු අල්ලන්න ජන වරමක් ලැබුණු මේ ආණ්ඩුව වසර දෙකහමාරක් තිස්සේ හොරු අල්ලනවා වෙනුවට හොරු තමන්ගෙ ඔඩොක්කුවට දාගනිමින් හොරු ආරක්ෂා කිරීම සිදුකරනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පානදුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී කීවේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් දැනුවත් කිරීම සඳහා පැවැති ජනහමුව අමතා නලින්ද ජයතිස්ස මහතා මෙසේ කීවේය.

2015 දී මේ ආණ්ඩුව බලය ගත්තෙ එතෙක් පැවැති පාලනයේ ජනතා දේපළ හොරා කාපු හොරු අල්ලා නීතිය හමුවට ගෙනල්ලා දඬුවම් දීම සඳහායි. නමුත් ආණ්ඩුව සිදුකළේ හොරුන්ට පහසුකම් දීමත්, රැකවරණය ලබා දෙමින් හොරු සමඟ ඩීල් දමා ගැනීමයි. ඒ නිසා පසුගිය කාලෙ වැඩිපුර හොරකම් කළ අයට ජාතිවාදය, ආගම්වාදය වපුරමින් ඉන්න පුළුවන් වෙලා තියෙනවා. හොරකම් කළ අයත් හොරු ආරක්ෂා කරන අයත් යන ‍ෙදාගොල්ලම හෙළිදරව් වෙලා තියෙනවා.

හොරු අල්ලනවා කියල ආව අය මහ බැංකු බැඳුම්කර වංචාව සිදුකළා. අධිවේගී මාර්ගයෙන් ගසාකාල තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැඟිලිවලින් ගසාකාල තියෙනවා. දුම්රිය මාර්ග හදන්න ගිහිල්ලා හොරා කාලා තියෙනවා. ඒ නිසා ‍ෙදාගොල්ලන්ගේම නිරුවත පේන්න පටන්ගෙන තියෙනවා. මේ දෙගොල්ලම හොරකම් කරන්නෙ ජනතාවගේ ඡන්දය අරගෙනයි. ඒ නිසා හොරු සහ හොරු රකින අය දෙගොල්ලම එළවලදාලා තමන්ගේ බදු මුදල් ආරක්ෂා කරන පුද්ගලයන් පත් කරගැනීම රටේ ජනතාවගේ වගකීම වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනුත් එක්සත් ජාතික පක්ෂයෙනුත් නාම යෝජනා භාරගන්න බොහෝදෙනා පැරැණි දූෂණ වංචාවලට සම්බන්ධ අයයි. ප්‍රාදේශීය සභා නියෝජිතයො ලෙස කොමිස් මුදල් ගන්න, පාරවල්වලින්, ගසාකාපු අය, පස් කපාපු, ගස් කපපු, වැලි ගොඩදාපු අය පොහොට්ටුවෙන් ඉල්ලන්න එයි. කොටසක් අතින් ඡන්දය ඉල්ලන්න එයි. ඊට කලින් ප්‍රාදේශීය සභා ඡන්දය තිබුණු වෙලාවෙ බලය අරගෙන ඔය ආකාරයටම ගසා කාපු, හොරකම් කළ, දූෂණ කළ අය අලියගෙන් ඡන්ද ඉල්ලන්න එයි.

පාපැදියක් නැතිව ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ඉන්න හිටින්න ගේ ‍ෙදාර නැතිව සභාවට ඇවිල්ලා අවුරුද්දක් දෙකක් ගිහිල්ල දියුණු වෙච්ච හැටි, බංගලාවල් හදපු හැටි, කෝටි ගණන්වල යාන වාහන ගත් හැටි ගමේ ජනතාව දන්නවා. ප්‍රාදේශීය සභාවෙ රුපියල් 5000ක වැටුපකින් ඕව කරන්න බැහැ. එහෙම කරල තියෙන්නෙ කොමිස් ගහල, හොරකම් කරලයි. ඒ නිසා නැවත වතාවක් මේ අයට එන්න දෙනවද කියලා ජනතාව තීරණය කළ යුතුයි.
හොරකම, වංචාව නොකළ වැටුපක් ලබා නොගන්න පිරිසක් තෝරාගන්න ජනතාව වගබලාගත යුතුයි. එහෙම වුණොත් ඊළග ඡන්දයෙදි පාර්ලිමේන්තුවෙ ඉන්න ජනතා දේපළ හොරා කාපු තෝරු මෝරුත් ගෙදර යවන්න පුළුවන් වෙයි.

වසර දෙකහමාරකට පසුව ජනතාවට තමන්ගෙ කොට්ඨාසයට නියෝජිතයකු පත්වන මනාපවලින් ඡන්දය පාවිච්චි කරන්න හැකි වෙනවා. ගමට වැඩක් කළ හැකි දූෂණයෙන් තොර ජනතාවට එකතුවුණොත් ගමට රටට වැඩක් කළ හැකි වෙනවා.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon