පෙම්වතියගේ නෑදෑයන්ට බයේ කැලේ පැන්න 11 වසරේ සිසුවා ගලක් පෙරැලී මරුට

  👤  4101 readers have read this article !
By mawbima 2017-11-21

තම පාසල් පෙම්වතියගේ ඥාතීන්ගේ තර්ජනයට බියෙන් කැලයේ සැඟව සිටි ශිෂ්‍යයකුගේ ශරීරය මතට විශාල කළු ගලක් ඇද වැටීමෙන් ඊයේ (20දා) දහවල් එම ශිෂ්‍යයා අනතුර සිදු වූ ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක මිරියගල්ල ප්‍රදේශයේ පදිංචි මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට මුහුණ දීමට සිටි පාදුක්ක ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. 16 හැවිරිදි මෙම ශිෂ්‍යයාගේ මව විදේශගතව රැකියාවක නිරත වන බවද පොලිසිය පවසයි.
මියගිය ශිෂ්‍යයා තම පාසල් පෙම්වතියද සමඟ පෙරේදා (19දා) කාලය ගත කර ඇති අතර ඒ පිළිබඳව ලද තොරතුරකට අනුව පාසල් පෙම්වතියගේ ඥාතීන් පිරිසක් වෑන් රථයකින් මියගිය ශිෂ්‍යයාගේ නිවෙසට ගොස් සොයා ඇත. ඔහු එහි නොසිටි බැවින් එම ශිෂ්‍යයා තම පෙම්වතිය සමඟ නවාතැන් ගෙන සිටි බව කියන දිද්දෙණිය ප්‍රදේශයේ නිවෙසකට ගොස් එහිද සොයා බලා ඇත. ඔහු එහිද නොසිටි බැවින් පාසල් ශිෂ්‍යයාගේ හිතවතකු බව කියන පුද්ගලයකුට පාසල් ශිෂ්‍යයා සම්බන්ධයෙන් තර්ජනය කර ඇති බව කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

ඒ පිළිබඳව දැනගත් ශිෂ්‍යයා නැවතත් හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි හිතවතා සොයා ගොස් ඔහු රැකියාවේ නිරතව සිටි ගල් වැඩපළක් අසල කැලෑවක සැඟව සිටියදී ඒ අසල තිබූ විශාල කළු ගලක් එක්වරම මියගිය ශිෂ්‍යයා මතට පෙරළී එයට යට වී මිය ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ශරීරය මතට කළු ගල පෙරළීමෙන් පසු ශිෂ්‍යයා කෑ ගසා ඇති බවත් එම ශබ්දය ඇසුණු ශිෂ්‍යයාගේ හිතවතා එම ස්ථානයට ගොස් ගල ඉවත් කිරීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ පසු ගල්වැඩපළේ සිටි පිරිසට කතා කර ගල ඉවත් කර පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණි පාදුක්ක හදිසි මරණ පරීක්ෂක නන්දසේන පන්නිපිටිය මහතා හදිසි මරණ පරීක්ෂණය පැවැත් වූයේය. පාදුක්ක පොලිසියේ උප පොලිස් පරීක්ෂක ආටිගල මහතා පොලිස් පරීක්ෂණ සිදු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon