දෙමළ දේශපාලනඥයන් හා විද්වතුන් එය පිළිගන්න සූදානම් නැති නිසයි

  👤  3429 readers have read this article !
By mawbima 2017-11-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

තමන් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළේ 1956 සිට කිසිදු දෙමළ දේශපාලනඥයකු හෝ දෙමළ විද්වතකු මේ රටේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති නිසා තමන්ද ඒ මතයේ සිටින නිසා යැයි උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරන් යාපනයේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කොට තිබේ.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ එම සිදුවීම සම්බන්ධයෙන් යාපනයේ මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.
ඔහු මේ පිළිබඳව තවදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාතික ධජයේ සිටින සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් එහි ඇති බොහෝ සලකුණුවලින් බෞද්ධ ආගම පිළිබිඹු වීමත් නිසා මේ ධජය සිංහල බෞද්ධ ජාතික ධජයක් පමණක් බවයි.

එවැනි ධජයකට දෙමළ ජනතාව ගරුබුහුමන් දැක්වීමට ඇති අකැමැත්ත නිසාම 1956 වර්ෂයේ සිට දෙමළ දේශපාලනඥයන් මේ ජාතික ධජය වෙනස් කරන මෙන් ඉල්ලීම් ගණනාවක්ම කොට ඇති බව කියන අමාත්‍යවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ කාලයේදී ඒ සඳහා විශාල ඉල්ලීමක් කළ බවද ප්‍රකාශ කොට තිබේ.
ඉන් පසුව අවස්ථා ගණනාවකදීම මේ රටේ දෙමළ ජනතාවටද පිළිගත හැකි අන්දමේ ජාතික ධජයක් නිර්මාණය කරන මෙන් ඉල්ලීම් කොට ඇති බවත් දෙමළ ජාතික සන්ධානය විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාවලද එම ඉල්ලීමට විශේෂ තැනක් දී ඇතැයි කියා සිටියි.
සිංහල ජාතිය පමණක් ඉස්මතු වන අන්දමට නිර්මාණය කොට ඇති ජාතික ධජයක් මේ රටට අනවශ්‍ය බවත් එවැනි ධජයකට ගරුබුහුමන් දැක්වීමට දෙමළ ජනතාව සූදානම් නොමැති බවත් අමාත්‍යවරයා යාපනයේ මාධ්‍යවේදීන්ට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කොට ඇති උතුරු පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය එස්. කුරුකුලරාජා පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ජාතික ධජය ප්‍රතික්ෂේප කිරීමට තීරණයක් ගෙන නොමැති බවය. මේ ධජයේ සිංහයා ඉවත් කොට යම් සංශෝධනයක් සිදු කරන මෙන් ඉල්ලා ඇති සිද්ධිය සත්‍ය වුවත් එවැන්නක් සිදු වන තුරු ශ්‍රී ලංකාවේ සිටින ජාතියක් වශයෙන් ඊට ගරු කිරීම දෙමළ ජනතාවගේ යුතුකමක් බවද ඔහු පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon