දුම්රියට අපලයි

  👤  3368 readers have read this article !
By mawbima 2017-11-22

උපතිස්ස පෙරේරා

හුනුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරක් හා දෙමටගොඩ කැලණිවැලි මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ඊයේ (21දා) උදේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ හා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වීමෙන් පාසල් දරු දැරියන් සහ සේවා ස්ථානවලට යමින් සිටි දුම්රිය මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ.

හුනුපිටියේ සිදුවූ අනතුර හේතුවෙන් හලාවත, පුත්තලම, මහනුවර, බදුල්ල, යාපනය, තලෙයිමන්නාරම ඇතුළු දුම්රියන්ද එම ප්‍රදේශවල සිට කොළඹ දක්වා පැමිණෙන දුම්රියයන් ඇතුළු කාර්යාල දුම්රියයන් ගණනාවක්ද බෙහෙවින් ප්‍රමාද වී ධාවනය කිරීම නිසා දහස් සංඛ්‍යාත දුම්රිය මගී ජනතාවක් පැය ගණනක් තිස්සේ කිසිවක් කරකියා ගැනීමට නොහැකිව රාගම සහ හුනුපිටිය දුම්රිය ස්ථාන අතර නවතා තිබූ දුම්රියවල රැඳී සිටිනු දක්නට ලැබිණි. එමෙන්ම කොළඹ හා ඒ අවට පාසල්වලට යන සිසු සිසුවියන් රැසකට මෙම අනතුර හේතුවෙන් පාසල් යෑමේ අවස්ථාව අහිමිවිය.

ඉකුත් දෙසතිය තුළ විවිධ අනතුරු දුම්රිය පීලි පැනීම මාර්ග සංඥා අක්‍රියවීම ඇතුළු විවිධ හේතූන් මත දුම්රිය ධාවනය අඩාල වීමෙන් දුම්රිය මගීහු දැඩි අසීරුතාවකට පත්වූහ.
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ඊයේ දහවල් වනවිට යථා තත්ත්වයට පත්කරන බවත් කැලණිවැලි දුම්රිය මාර්ගයට කඩා වැටුණු ගස ඉවත්කර දුම්රිය ධාවනයට ඉඩ සැලසූ බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

මේ අතර ඊයේ පෙරවරුවේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය හැටන් සහ රොසැල්ල අතරදී පීලි පැනීමකට ලක්වීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයද ඊයේ පෙරවරුවේ සිට අඩාල වී ඇත. මෙම දුම්රිය කඩිනමින් පීලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කරන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon