රන්ජන් අධිකරණ පද්ධතියටම අපහාස කළා

  👤  3624 readers have read this article !
By mawbima 2017-11-22

අගමැති නිල පරිශ්‍රය වන අරලියගහ මන්දිර පරිශ්‍රය තුළ සිට මාධ්‍ය අමතමින් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක විසින් සිදු කර ඇති ප්‍රකාශය තුළින් අධිකරණ පද්ධතියටම අපහාසයක් සිදුව ඇති බැව් නීතිපතිවරයා ඊයේ (21දා) ඔහුට එරෙහිව (නියෝජ්‍ය අමාත්‍යවරයාට) ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව කැඳවූ අවස්ථවේදී කියා සිටියේය.
නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කියා සිටියේ විනිසුරුවරුන් වැඩිදෙනෙක් දූෂිතයන් බවට ඔහු ප්‍රකාශකර ඇති බවද ඒ අනුව සමස්ත අධිකරණ පද්ධතියටම බලවත් පහරක් එල්ලවන බවත්, ඒ අනුව මේ නඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය මූලික ප්‍රතිපාදන බැලූ බැල්මට සම්පූර්ණවී ඇති බවත් ඔහු කියා සිටියේය.

තම සේවාදායකයා වන රන්ජන් ඇමැතිවරයා සිදුකළ ප්‍රකාශය ආවේගයෙන් සිදුකළ ප්‍රකාශයක් වන නිසා එය අධිකරණයට හෝ විනිසුරුවරුන්ට හෝ නීතිඥ ප්‍රජාවට එල්ල කළ අපහාසයක් නොවන බවත් රාමනායක මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේය.
නීතිපතිවරයාත් පෙත්සම් පාර්ශ්වයත් එය තරයේ ප්‍රතික්ෂේප කළේය.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් හා ඊවා වනසුන්දර විජිත්, කේ. මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම පෙත්සම කැඳවා තිබිණි.
කළුතර දකුණ ශ්‍රී මුණසිංහ බෝධිරාජාරාම විහාරාධිවාසී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් මෙම පෙත්සම 2017 අගෝස්තු මස 22 වැනි දින ගොනුකරනු ලැබූහ.
එහි වගඋත්තරකරු ලෙස නම් වූයේ රන්ජන් රාමනායක හෙවත් සද්දවිද්ද රාජපක්ෂ පළඟ පතිර අම්බ කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් යන අයයි.
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය ඇමැති ධුරයේ සිටිමින් මෙවැනි ප්‍රකාශයක් කිරීම වඩාත් බරපතළ බව පෙත්සම්කාර හිමියෝ ප්‍රකාශ කොට ඇත.

මෙම පෙත්සම දෙසැම්බර් මස 14 වැනි දින ඉහත විනිශ්චය මණ්ඩලය හමුවේ කැඳවීමටත්, වගඋත්තරකරු විසින් අරලියගහ මන්දිරයේදී 2017 අගෝස්තු මස 21 වැනිදා සිදුකරන ලද සම්පූර්ණ ප්‍රකාශය සංස්කරණ කිරීමෙන් තොර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස 'සිරස' රූපවාහිනි නාළිකාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon