කොස්වත්තේ නිවෙසකට තෙල් අකුණක්

  👤  3492 readers have read this article !
By mawbima 2017-11-22

කොස්වත්ත පොලිසිය ඉදිරිපිට නිවෙසක් අසල මහහඬකින් පිපිරීගිය අකුණක් සමඟම ඉහළ අහසින් විශාල කළුතෙල් ගුළියක් බිමට පහත්වී එය පුපුරා යෑමේ සිද්ධියක් වාර්තාවේ.
පෙරේදා (20දා) පස්වරු 3.00ට පමණ ඇතිවූ ධාරානිපාත වර්ෂාවත් සමඟම කොස්වත්ත ගමම දෙවනත් කරමින් අකුණක් ගසා ඇති අතර ඒ අවස්ථාවේදී මෙම නිවෙස අබියසට අහසින් පහත්වී ඇති විශාල කළුතෙල් ගුළියක් මහ හඬකින් පුපුරායමින් එම නිවෙස අබියස ඉඩම පුරා විශාල පෙදෙසකට කළු පැහැති තෙල් විශේෂයක් විසිරී යන අන්දම තමන් සියැසින් දුටු බව එම නිවෙසේ හිමි කාන්තාව මාධ්‍යයට පැවසුවාය.

හලා/ කොස්වත්ත පොලිස් ස්ථානය අබියස පිහිටි අංක 57 කොස්වත්ත ලිපිනයේ පදිංචි එච්. පී. නිහාල් පතිරන්ත මහතාගේ නිවෙස අසල මෙම පිපිරීම සිදුව ඇති අතර ඔහුගේ බිරිය වන අශෝකා රංජනී මහත්මිය විසින් කොස්වත්ත පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් නිලධාරීන්ද පැමිණ එම ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබේ. මෙම කළු පැහැති තෙල් විශේෂයෙන් කොටසක් බෝතලයකට ගෙන පරීක්ෂණ කටයුතු සඳහා පොලිසියට භාරදී ඇති බවද නිවැසියෝ කියති.
මේ සම්බන්ධව එම නිවෙස් හිමි අශෝකා රංජනී මහත්මිය මෙසේ පැවසුවාය.

හරියටම 20 වැනි දින සවස තද වැස්සක් ඇතිවුණා. මම නිවෙස අසල සිට අහස දෙස බලා සිටියදී එක්වරම මහා හඬක්දී අකුණක් ගැසුවා. ඒ සමඟම මම දැක්කා ඉහළ අහසින් විශාල ගුළියක් වැනි දෙයක් පාවෙමින් ඇවිත් අප නිවෙස අබියස පුපුරා යන බව. මොහොතකින් නිවෙස අබියස මුළු ප්‍රදේශයම කළු පැහැති තෙල් වැනි දෙයකින් වැසී ගියා. මම වහා ගොස් නිවෙස අසලම ඇති කොස්වත්ත පොලිසියේ නිලධාරීන්වද දැනුවත් කළා. ගම්වාසීන් විශාල පිරිසක් පැමිණි අතර මෙම තෙල් විශේෂය කුමක්දැයි සොයාගත නොහැකි හෙයින් පුංචි බෝතලයකට ගෙන ඉදිරි කටයුතු සඳහා පොලිසියට ඉදිරිපත් කළා.

මෙවැනි සිද්ධියක් මින් පෙර කිසිවකු දැක හෝ අසා නොමැති හෙයින් පරීක්ෂණ කටයුතු සඳහා ඊට අදාළ වගකිවයුත්තන් විගස අදාළ ස්ථානයට ගෙන්වීමට කොස්වත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරීන් පියවර ගෙන තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon