වවුනියාවේ වෙළෙඳසල් ගින්නෙන් පසු ව්‍යාපාරික දෙපිරිසක් අතර මත ගැටුමක්

  👤  3286 readers have read this article !
By mawbima 2017-11-22

වවුනියා - රසාදි චතුරංගි ගමගේ

වවුනියාවේ ව්‍යාපාරික දෙපිරිසක් අතර 20දා රාත්‍රියේ සිට හටගෙන තිබෙන මත ගැටුම මේ දක්වා හමාරවී නොමැත.
එක් ව්‍යාපාරික කොටසක් කියා සිටින්නේ 20දා අලුයම වවුනියාව ජුම්මා මුස්ලිම් දේවස්ථානය අසල පිහිටි වෙළෙඳසල් පෙළ ගිනි ගන්නා ලද්දේ කිසිවකු විසින් එල්ල කරන ලද පෙට්රල් බෝම්බ ප්‍රහාරයක් නිසා බවයි.

මේ ක්‍රියාවට එරෙහිව විරෝධය පළ කිරීම සඳහා ඊයේ (21දා) වවුනියාව නගරයේ වෙළෙඳසල් වසා දැමීමට අවශ්‍ය බව වවුනියාව වෙළෙඳ සංගමයට 20දා රාත්‍රියේ එම ව්‍යාපාරික කොටස දැනුම් දී ඇතත් ඊට වෙළෙඳ සංගමය එකඟ වී නොමැත.
වවුනියාව වෙළෙඳ සංගමයේ නිලධාරීන් හා සමාජිකයන් බහුතරය වෙනත් ජන කොටසක් නිසා තම ව්‍යාපාරික ප්‍රජාවට සිදුවූ මේ අසාධාරණය වෙනුවෙන් ඔවුන් පෙනී නොසිටින බව එම ව්‍යාපාරිකයෝ කියා සිටිති.

වෙළෙඳ සංගමය කියා සිටින්නේ විරෝධතාවට වවුනියාව නගරයේ වෙළෙඳසල් වසා දමන්නේ නම් ඒ සම්බන්ධයෙන් මුලින්ම පොලිසියට දැනුම්දී අවසරයක් ලබා ගත යුතු බවයි.
මේ තත්ත්වය පිළිගැනීමට අකැමැත්තක් දක්වන වවුනියාවේ එම ව්‍යාපාරික කොටස කියා සිටින්නේ මේ වසරේදී පවත්වන ලද හර්තාල් දෙකටම ඔවුන් පොලිසියෙන් අවසර ලබා නොගත් බවයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා එක් වරක්ද යුද සමයේදී අතුරුදන් වූවන් සම්බන්ධයෙන් සාධාරණය ඉෂ්ට කරන මෙන් රජයට බල කරමින් තවත් අවස්ථාවකදීද වෙළෙඳ සංගමය වවුනියාව නගරයේ හර්තාල් ව්‍යාපාරයන් ක්‍රියාත්මක කෙළේ පොලිසියේ අවසරයකින් තොරව බව එම ව්‍යාපාරික කොටස් පවසති.
මුස්ලිම් පල්ලියට යාබදව පිහිටි වෙළෙඳසල් පෙළට ගිනි ඇවිළීම නිසා එක් වෙළෙඳසලක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වූ අතර තවත් වෙළෙඳසල් දෙකකට සුළු හානි සිදුව තිබේ.
මෙම ගින්නට හේතුව සොයන පොලිස් පරීක්ෂණ තවමත් අවසන්ව නොමැති නිසා පොලිසිය ඒ පිළිබඳ මෙතෙක් ස්ථිර නිගමනයකට පැමිණ නොමැත.
මේ ගිනි ගැනීමෙන් පසුව එම වෙළෙඳසල් පෙළ තවමත් වසා දමා ඇති අතර ඊට පොලිස් ආරක්ෂාවද යොදවා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon