කැළි කසළ ප්‍රශ්නයට විසඳුමක් නැද්ද?

  👤  3264 readers have read this article !
By mawbima 2017-11-22

මේ වසරේ මුල් භාගයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය සියල්ලේම පාහේ ප්‍රධාන ශීර්ෂ පාඨය බවට පත්වූයේ මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම සම්බන්ධ ප්‍රවෘත්තියයි. එමෙන්ම කසළ කළමනාකරණය පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති විය. එහෙත් ඊට පසුකාලීනව රට තුළ උද්ගතවූ වෙනත් සමාජ දේශපාලනික ගැටලු නිසා ඒ පිළිබඳව තිබූ අවධානය අඩුවී ඇති සෙයක් දක්නට ලැබේ. කැළි කසළ අර්බුදය යළිත් හිස ඔසවන්නේ මහනුවර ඇසළ පෙරහර අවසන් වීමත් සමඟ එක්රැස්වූ අධික අපද්‍රව්‍ය තොගය ගැන ඇතිවන සමාජ කතිකාවතත් සමඟය. තැන් තැන්වල එක් රැස්වී ඇති කසළ ගොඩවල් උග්‍ර සමාජ ව්‍යසනයක් බවට පත්වී ඇත. කැළි කසළ අර්බුදය නිසි පරිදි පාලනය කරගන්නා තුරු ශ්‍රී ලංකා රජයට විවිධ පරිපාලන, ආර්ථික, සෞඛ්‍ය සහ සමාජයීය ගැටලු සඳහාද මුහුණදීමට සිදුවී ඇත.

ලෝකයේ දියුණු රටවල් වශයෙන් හැඳින්වෙන ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය, සිංගප්පූරුව සහ කොරියාව ආදී රටවල මේ වන විට ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වේ. තවද එකී රාජ්‍යයයන් තුළ සමාජ සුබසාධනය සඳහා ක්‍රියාත්මක කරනු ලබන නීති සහ රෙගුලාසි පද්ධතියක්ද වෙයි. තවද එම රාජ්‍යයන් දෛනිකව නිපදවෙන ඝන අපද්‍රව්‍ය ප්‍රතිශතය අවම කිරීමට කටයුතු කර ඇත. තවදුරටත් එම රාජ්‍යයන් ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයේ අතුරුඵල වශයෙන් විදුලි බලය, ඉන්ධන, කොම්පෝස්ට් පොහොර සහ ඝන ගඩොල් ආදිය නිෂ්පාදනය කරනු ලබයි.

ඝන අපද්‍රව්‍ය රැස්කිරීමේ නිසි ක්‍රමවේදයක් හඳුන්වාදීම මහජන සෞඛ්‍යය, ආරක්‍ෂාව සහ පරිසරය සුරැකීම සඳහා බෙහෙවින් වැදගත් කාරණයක් වේ. මේ සඳහා විවෘත ටේලර් සහිත ට්‍රැක්ටර් පුළුල් ලෙස භාවිත කිරීම ශ්‍රී ලංකාවේ දක්නට හැකි දර්ශනයකි. එහෙත් කසළ ප්‍රවාහනය සඳහා සංවෘත බහාලුම් සහිත රථ වාහන සහ ස්වයංක්‍රිය කසළ සම්පීඩනය කිරීමේ රථවාහන යොදා ගැනීම සුදුසුය.

තවද ප්‍රතිචක්‍රීයකරණ කළ හැකි කසළ වෙන් වෙන් වශයෙන් බහාලුම් තුළ අසුරා තැබීම, කසළ රැස්කිරීමේ ක්‍රමවේදයට මහත් රුකුලක් වන බව නිවැසියන් සහ ව්‍යාපාරිකයන් දැනුවත් කිරීම අනිවාර්ය වේ. තවදුරටත් මහජනතාව සඳහා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කසළ එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම අත්‍යවශ්‍යය.
නිසි වේලාවට කසළ අදාළ ස්ථානයන් වෙත යොමු කිරීම, කසළ කළමනාකරණ ක්‍රියාදාමයේ වැදගත් අංගයක් වේ.

නාගරික ඝන අපද්‍රව්‍ය එකතු කළ විගස, ඒවායේ ධාරිතාව සහ බර අවසාන බැහැර කිරීම සඳහා අවම කර කළමනාකරණය කිරීම අනිවාර්ය වේ. මෙසේ කිරීමෙන් කසළවල ව්‍යුහය මෙහෙයවීමට පහසුවන ආකාරයෙන් වෙනස්වීම සිදුවේ. මෙසේ කිරීමේදී ප්‍රතිචක්‍රීයකරණය කර නැවත භාවිතයට ගත හැකි සහ ශක්තීන් නිපදවීමට හැකි සමහර අපද්‍රව්‍යයන් සොයා ගැනීමට හැකිවනු ඇත.

ඝන අපද්‍රව්‍යයන් හි ඇති ධාරිතාව සහ බර අවම කිරීම සඳහා පවතින සුදුසුම ක්‍රමය වනුයේ කසළ දවා අළු කිරීම වේ. නූතන උදුන් තුළ මෙකී කසළ සුදුසු වාතාවරණයක් තුළ නිසි පරිදි දවා අළුවීම සිදුවේ. සාමාන්‍යයෙන් නොදැවුණු අවශේෂ සහ පියාසර අළු බිම් පිරවීම සඳහා බැහැර කරනු ලබයි.
දහනය වන කසළ, වීදුරු සහ ලෝහ වැනි දහනය නොවන කසළ වෙන්කිරීම දහනය කිරීමට ප්‍රථම සිදුකරනු ලබයි. මෙම යන්ත්‍රයට ටර්බයිනයක් සවිකර ඇති අවස්ථාවේදී යන්ත්‍රය ජල වාෂ්ප උපයෝගී කොට විදුලි බලය නිෂ්පාදනය කරනු ලබයි.

නිපදවාගන්නා බලශක්තීන්, ඝන අපද්‍රව්‍යය කළමනාකරණය සඳහා ඉන්ජිනේරුමය සහ ආර්ථික වශයෙන් කදිම පිළියමක් වේ.
නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා වූ තවත් කදිම විසඳුමක් වනුයේ එම අපද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් කිරීම වේ.
කොම්පෝස්ට් කිරීම, කසළ මෙන්ම අපවිත්‍ර රොන්මඩද ප්‍රතිචක්‍රියකරණය කිරීමේ ක්‍රමවේදයකි. ඝන අපද්‍රව්‍ය ගිනි උදුනේ දැවීම සහ බිම් පිරවීම සඳහා යොදා ගැනීම වෙනුවෙන් බලපැවැත්වෙන දැඩි පරිසර නීති රෙගුලාසි හේතුවෙන්, කොම්පෝස්ට් පොහොර සඳහා ඇති ඉල්ලුම වැඩිවීමට ඉඩකඩ ඇත. මෙම කොම්පෝස්ට් ක්‍රියාදාමය සඳහා කසළ තේරීම සහ වෙන් කිරීම, ධාරිතාව අඩු කිරීම සහ කසළ දිරාපත් කරවීම යන අංගයන් ඇතුළත් වේ.

සෞඛ්‍යාරක්‍ෂක බිම් පිරවීම, නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ සුලබ උපාය මාර්ගයක් වශයෙන් හඳුන්වා දිය හැකිය. කසළ ආරක්‍ෂිතව තැන්පත් කිරීමට හැකි ප්‍රධාන ක්‍රමවේදයක් වශයෙන් සෞඛ්‍යාරක්‍ෂිත බිම් පිරවීම හඳුන්වා දිය හැකිය. කෙසේ වෙතත් මේ සඳහා සුදුසු බිම් ප්‍රමාණයක්, පරිසර සහ මහජන ආරක්‍ෂාව සැලකිල්ලට ගනිමින් ඉතා ප්‍රවේශමෙන් තෝරා නිර්මාණය කර, පිළිසකර කරගත යුතුය. මෙසේ බිම් පිරවීමේදී සැලකිල්ලට ගත යුතු ඉතා වැදගත් කාරණයක් වන්නේ එකී පිරවූ කසළ කිසිදු අවස්ථාවක පොළොවෙන් ඉහළට මතුවී මතුපිට හෝ භුගත ජලය හා මිශ්‍ර නොවීමට වගබලා ගැනීම වේ.

කසළ ප්‍රතිචක්‍රියකරණය කිරීමට පෙර වෙන්කර වර්ග කිරීම අනිවාර්ය අංගයක් වේ. මෙකී වර්ග කිරීම අපද්‍රව්‍ය රැස් කරන ස්ථානයේදී හෝ කේන්ද්‍රීය පිරිසැකසුම් මධ්‍යස්ථානයකදී හෝ සිදුකළ හැකිය. මෙහිදී පුවත්පත්, බෝතල්, ටින් සහ කසළ වෙන් වෙන් වශයෙන් රැස්කර, එකතු කිරීම සහ ස්ථානගත කිරීම, එක් එක් පුද්ගලයන් විසින් සිදුකළ හැකිය. තවද, ප්‍රතිචක්‍රියකරණය කළ හැකි ද්‍රව්‍ය සාමාන්‍ය කසළවලින් වෙන්කිරීම කේන්ද්‍රීයව පිහිටා ඇති යාන්ත්‍රික පිරිසැකසුම් මධ්‍යස්ථානයකදී සිදුකළ හැකිය.

මෙහිදී ප්ලාස්ටික් ප්‍රතිචක්‍රියකරණය කිරීම මහත් අභියෝගයක් වේ. මන්දයත් ප්ලාස්ටික් නිෂ්පාදනයේදී විවිධාකාර බහුඅවයවික අමුද්‍රව්‍ය යොදාගන්නා බැවිනි. කෙසේ වෙතත් අඩු ගුණාංගයන්ගෙන් යුත් ප්ලාස්ටික් අච්චු, පදික වේදිකා, ගඩොල් වැනි නිෂ්පාදයන්හිදී මිශ්‍ර තාපසුවිකාර්ය ලෙස යොදාගත හැකිය. ඇලුමිනියම්, නාගරික ඝන අපද්‍රව්‍යයන් අතර ඉතා කුඩා අංගයක් වුවත්, එහි ප්‍රතිචක්‍රියකරණ වටිනාකම අතින් ඉතා ඉහළ අගයක් ගනී. තවද කැඩීගිය වීදුරු තවදුරටත් කුඩුකර පදික වේදිකාවන් සඳහා ඇස්ෆෝල්ට් තාර දැමීමේදී යොදාගත හැකිය. විවිධ වර්ණයන්ගෙන් යුතු කුඩු කරන ලද වීදුරු, වීදුරු ආශ්‍රයෙන් භාණ්ඩ නිෂ්පාදකයන් හට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වශයෙන් අලෙවි කළ හැකිය. ලෝහ අපද්‍රව්‍ය, ලෝහ කර්මාන්ත ශාලාවන්හිදී ලෝහ සුන්බුන් වශයෙන් භාවිත කළ හැකිය. කඩදාසි අපද්‍රව්‍ය, තීන්ත ඉවත් කර වෙන්කර ගැනීමෙන් අනතුරුව කඩදාසි හා කාඩ්බෝඩ් නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වශයෙන් භාවිත කළ හැකිය. ඉරීගිය, ප්‍රතිසංස්කෘත සහ නැවත වාත්තු කළ රබර් මිශ්‍ර අපද්‍රව්‍යය, නැවත වැල්කනයිස් කර යොදා ගැනීම සඳහා සමහර අවස්ථාවන්හිදී ඝන අපද්‍රව්‍යයන්ගෙන් වෙන්කර ගනු ලබයි. කෙසේ වෙතත් මෙම රබර්, මූලික රබර් මෙන් ශක්තියෙන් අනූන නැත. ඉරීගිය රබර්, ඇස්ෆෝල්ට් තාර දැමීමේදී ආකලනයක් ලෙසද යොදා ගැනීමට හැකියාවක් ඇත. සාමාන්‍යයෙන් ඕනෑම වර්ගයක ඝන අපද්‍රව්‍යයක් ප්‍රතිචක්‍රියකරණය කිරීමේදී මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වනුයේ ඒ සඳහා යෝග්‍ය වන වෙළෙඳපොළ සොයා ගැනීම වේ.

කසළ උත්පාදනය සිදුනොවීමට වගබලා ගැනීම කසළ අවම කිරීම සඳහා ඇති ඵලදායීම වූ ක්‍රමවේදය වේ.
වර්තමානයේදී බොහෝ ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට පිවිසෙන්නේ පොලිතීන් ආවරණයන්ගෙන් යුක්තවය. මෙකී අපද්‍රව්‍යයන් ජෛව දිරාපත්වීමකට යටත් නොවන අතර, මේවා පසට එක් කිරීම, අවුරුදු ගණනාවක් මුළුල්ලේ කොම්පෝස්ට් බවට පත් නොවී පොළොවේ රැඳී සිටීමට හේතුකාරක වේ. එබැවින් ඔබ ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමේදී එවන් ආවරණයන්ගෙන් යුතු ආහාර ප්‍රතික්‍ෂේප කළ යුතු වේ. මෙහිදී හණ හෝ පන්වලින් නිෂ්පාදනය කරන ලද ගමන් මලු භාවිත කිරීමද යෝග්‍යවේ.
නැවත අලුත්වැඩියා කළ හැකි භාණ්ඩ මිලදී ගැනීම කසළ අවම කිරීමට ඇති තවත් ක්‍රමෝපායක් වේ. එවිට එම ද්‍රව්‍ය නිතර ඉවත් කිරීම හෝ ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය නොවේ.

පොලිතීන් සහ ප්ලාස්ටික් පරිසරයට එක්වීම පාලනය සඳහා ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වේ. භාණ්ඩ නිෂ්පාදනයේදී ජෛව ක්‍රියාදාමයකින් දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගැනීමට නිෂ්පාදකයන් දිරිගැන්වීමෙන් පරිසරයට සිදුවන හානිකර බලපෑම පාලනය කරගත හැකිය.

තවද මිනිසුන් හට කසළ තැන තැන විසි නොකරන ලෙස අවවාද කිරීමද අනිවාර්ය වේ. කසළ තැන තැන විසිකිරීම, වගකීමක් නොමැති මිනිසුන්ගේ නොහැදියාව පෙන්නුම් කරනු ලබන මූලික ගැටලුවක් වන බැවින් එය වෙනස් කළ යුත්තේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් මිස ඔවුන් විසින් ඉවතලන භාණ්ඩ වෙනස් කිරීමෙන් නොවේ. බොහෝ රටවල් තම මහජනතාව හට නව නීති හඳුන්වාදීම මඟින් දෛනික අපද්‍රව්‍ය පාලනය කිරීමට කටයුතු කර ඇත. තවද කසළ තැන තැන විසිකරන අයවලුන් හට විවිධ ආකාරයේ දඩ මුදල් ක්‍රියාත්මක කිරීමද සුලබව දැකිය හැකිය. මිනිසුන් විසින් මෙය රජයෙන් පනවන ලද අවහිරයක් ලෙස සලකා, රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කිරීම, මෙහි බොහෝ විට දැකිය හැකි අයහපත්ම අංගය වශයෙන් හැඳින්විය හැකිය. එබැවින් සෑම ජන කොට්ඨාසයකම නායකයන් විසින් මෙය උපායශීලීව සහ සැලකිලිමත්ව ඉදිරියට පවත්වාගෙන යා යුතු වැදගත් කරුණක් වේ.

එසේම කසළ සහ වෙනත් අපද්‍රව්‍ය යොදා ගනිමින් නව නිර්මාණ බිහි කිරීමට නව නිර්මාණකරුවන් දිරිගැන්වීමටත් ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ සඳහා පහසුකම් සැපයීමටත් රජය කටයුතු කළ යුතුය. එමඟින් විශාල දේශීය ව්‍යවසායකයන් පිරිසක් බිහිවීමත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යථාර්ථයක් බවට පත්වීම තුළින් සෞඛ්‍යාරක්‍ෂිත මෙන්ම ආර්ථිකවද යහපත් හෙට දිනක් කරා පිය නැඟිය හැකිවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon