ගෝඨාභය අත්අඩංගුවට ගන්න ආණ්ඩුව පිඹුරුපත් හදමින් ඉන්නවා

  👤  3336 readers have read this article !
By mawbima 2017-11-22

වෘත්තීය සමිතිවලට පහර දෙනවා. ජනතා අයිතීන් කප්පාදු කරනවා. උද්ඝෝෂණය කරන සිසුන් හිරේ දමනවා. එකම එකවුන්ට් එකෙන් අනෙක් එකවුන්ට් එකට සල්ලි මාරුකිරීමත් වරදක් කරමින් ගාමිණී සෙනරත් මහතාවත් අත්අඩංගුවට ගනු ලැබුවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව දැන් සිටම පිඹුරුපත් සකසමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ප්‍රකාශ කෙළේය.

සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ ඊයේ පැවති 21 වැනි නියෝජිත සම්මේලනයේදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේය.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.
දශක දෙකකට ඉහතදී මෙම සංගමය ආරම්භ කළා.
එදා රුපියල් 2000ක් ලබා ගැනීමටත් සංගමය සටන් කළා. මෙම සමිතිය නිසා ගෙන ගිය අරගලයක තුළින් රට තුළ 28%ක් පමණ පැවැති දුප්පත්කම නැති කිරීමට හැකිවුණා. ඒ අනුව අපි බලාපොරොත්තුව සිටි ඉලක්කයට ගමන් කිරීමට හැකිවුණා. සටන් තුළින් සමෘද්ධි සංගමය ඉදිරියට ගමන් කළා.

වත්මන් ආණ්ඩුව වෙනස් වෙලා. යූ.එන්.පී. ය බලයට පත්වූ සෑම අවස්ථාවකදීම ජනතාවගේ අයිතීන් කප්පාදු කරනවා. සිසු සිසුවියන්ගේ අයිතීන් නොදී ඔවුන්ව හිරේ විලංගුවේ දමනවා. අහිංසක සිසුන්ව හිරේ දාන එක මේ ආණ්ඩුව සෙල්ලමක් කරගෙනයි ඉන්නේ.

මේ අන්දමට ආණ්ඩුව පළිගැනීම් කරනවා. ඒ එකකවත් සීමාවක් නැහැ. සමහර උදවිය මහින්ද රාජපක්ෂට හිතවත් නම් බොරු චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගනු ලබනවා. ජනතාවට සමීපව සිටින ඇතැම් නිලධාරීන් කිසියම් රාජකාරියක් සිදු කිරීමට පෙර එම කාර්ය කරනවාද? නොකරනවාද? යනුවෙන් ඔවුන්ට දෙවරක් සිතීමට සිදුව තිබෙනවා.

මේ ආණ්ඩුව රජයේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම පළිගන්නවා. මුළු රට පුරාම රජයට එරෙහිව විරෝධතා පවතිනවා. එෆ්.සී.අයි.ඩී. පළිගැනීම් සිදුකරමින් කටයුතු කරනවා පමණක් නොව අධිකරණයද නොමඟ යවනවා. රාජ්‍ය නොවන දේපොළ වලටත් රජය ඇඟිලි ගහනවා. ජනතා අයිතීන් දිනා ගැනීමට ඉදිරියට ගමන් කිරීමට සිදුව තිබෙන්නේ බාධක මැඬගෙනයි.

වෘත්තීය සමිතිවලින් කරන ඉල්ලීම්වලදී සටන්වලදී රජයේ නිලධාරීන් හැටියට තමන්ගේ යුතුකම ඉටුකරන්නැයි එම නිලධාරීන්ගෙන් ඉල්ලනවා. විශ්‍රාම යෑමට නියමිතව සිටි සේවකයාගේ අයිතීන් ඉක්මනින් ලබාදීමත් නිලධාරීන් හැටියට ඔබ සතු යුතුකමක්. මේ වන විට සමෘද්ධි සංගමයට සම්බන්ධව කටයුතු කළ විශ්‍රාම වැටුප් හිමිව සිටි සාමාජික සාමාජිකාවන් 160 දෙනකු විශ්‍රාම වැටුප් නොලබාම මියගොස් සිටින බව සමෘද්ධි සංගමයේ වාර්තාවල දැක්වෙනවා.

මෙලෙස විශ්‍රාම වැටුප් නොලබාම මියගිය මූලිකයාගේ දරුපවුලට විශ්‍රාම වැටුප ලැබෙන්නේ නැත්නම් ඒ දරු පවුලට සමෘද්ධි සහනාධාරයක් ලබාදෙන්නැයි කරනු ලබන ඉල්ලීම් පවා වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරපු අවස්ථා ගණනාවකම වාර්තා මා සතුව පවතිනවා."

ඒ වගේම සමෘද්ධි නිලධාරීන්ට කිසිම ඡන්දයකට ඉදිරිපත්වීමට නොහැකි අන්දමට වත්මන් පාර්ලිමේන්තුව අණපනත් සම්මත කරගෙන තිබෙනවා. අද රටේ ගම්මාන රැසකම නිලධාරීන් නිලධාරිනියන් රැසක්ම සමෘද්ධි සේවාව මඟින් ජනප්‍රියව සිටින බැවින් එම පිරිසට විශාල බයක් වත්මන් පාලකයන් දක්වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

සමෘද්ධි සංගමය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට සමෘද්ධි සංගමයේ ලේකම් පළාත් සභා මන්ත්‍රි ජගත් කුමාර මහතා තිළිණයක් ද ප්‍රදානය කළේය.
ආරියරත්න ගනේගොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon