මම ඇලෝසියස්ට කතා කළේ ‘බැඳුම්කර’ පොතට කරුණු දැන ගන්නයි

  👤  3291 readers have read this article !
By mawbima 2017-11-22

තමන් අර්ජුන් ඇලෝසියස්ට දුරකතන ඇමතුම් ලබාගත්තේ බැඳුම්කර සම්බන්ධයෙන් තමන් විසින් රචනා කරන ලද පොතට අවශ්‍ය කරුණු ලබා ගැනීමට බවත් විවිධ ගැටලු නිරාකරණය කර ගැනීමට හා යම් යම් කරුණු තහවුරු කර ගැනීමට තිබූ බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.
පිටකෝට්ටේ, සිරිකොත, එජාප මූලස්ථානයේදී ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කෙළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

කෝප් කමිටුවේදී අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් වැඩි වශයෙන් ප්‍රශ්න කළේ මමයි. මම සෑම විටම කටයුතු කරන්නේ එජාපයේ ගරුත්වය රැක ගැනීමටයි. කිසිවිටෙක සත පහක් හෝ මම උපයා ඇත්නම් ඔප්පු කරන ලෙස ඕනෑම අයකුට අභියෝග කරනවා.
බැඳුම්කර ගනුදෙනු පිළිබඳව යමෙක් වගකිව යුතු යැයි සඳහන් වී නැහැ. එමෙන්ම කෝප් කමිටුවට කිසිවකු චූදිතයකු කරන්න බැහැ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙතින් අයථා ගනුදෙනු වූවා යැයි අපට දැනුණත් එය තහවුරු කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එම සමාගම ඉතා කෙටි කාලයක් තුළ අයුතු ලාභයක් ලබා ඇති බව පමණයි අපට කිව හැකිව තිබුණේ.

මම බැඳුම්කරය ගැන පොතක් ලියා තිබෙද්දීත් බැඳුම්කර කොමිසමට මා කැඳවූයේ නැහැ. ඒ වගේම 2015 සිට නොව බැඳුම්කර කොමිසමේ කටයුතු සොයා බැලීමට තිබුණේ 2008 වසරේ සිටයි. එසේ වූවා නම් සියලුම කරුණු නිවරැදිව අනාවරණය කරගන්න තිබුණා. වැඩි පිරිසකට වුවමනා වූයේ එජාපයේ තරුණ දේශපාලනඥයන්ට මඩ ගසා ඔවුන් ඉදිරියට එන එක වළක්වන්නයි. ඇයි මේ බැඳුම්කර කොමිසමක් විතරක් පත් කළේ. බාල පෙට්රල්, මිග් යානා ගනුදෙනු, නැව් ගනුදෙනු ඇතුළු අක්‍රමිකතාවලට කොමිෂන් පත් නොකළේ ඇයි?

කෝප් කමිටුවේ දෙමළ මන්ත්‍රිවරයෙක් ඉවත් කර තමන්ව ඊට පත් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලපෑම් කිරීමට නොව ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා අග්‍රාමාත්‍යවරයා වෙත කරන ලද නිර්දේශයක් මත බවද මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය.
උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon