වෙන් වී ගිය අය සමඟ එක් වී ශ්‍රී ලනිපය ඡන්දෙට එනවා

  👤  3364 readers have read this article !
By mawbima 2017-11-22

කුමන හෝ පදනමක් මත වෙන්වී ගිය කොටස් සමඟ එකට එක්වී තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකි වන බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක විපක්ෂයේ සිටි ඉතිහාසය සලකා බලා එකට එක්වී තරග කිරීමේ අවශ්‍යතාව තේරුම් ගත යුතු බවද අබේවර්ධන මහතා එහිදී පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
නිදහස් පක්ෂය ලෙස මැතිවරණයට තරග කරන්න සියලු කටයුතු සූදානම්. තවත් දින දෙක තුනක් ඇතුළත අපේක්ෂකයන් තේරීම අවසන් කළ හැකියි. තවත් පිරිසකට නාම යෝජනා සඳහා ඉඩකඩ පවතිනවා. මේ මැතිවරණය ගම දිනවන ගමේ නියෝජිතයන් තෝරා ගන්න මැතිවරණයක්. එහෙම නැතිව මෛත්‍රිපාල සිරිසේනවත්, රනිල් වික්‍රමසිංහවත්, අනුර කුමාර දිසානායකවත් දිනවන මැතිවරණයක් නෙවෙයි. මේ ගැන තේරුම් ගත යුතුයි. පළාත් පාලන ඡන්දය පුද්ගල ඡන්දයක් මිස දේශපාලන පක්ෂවල ඡන්දයක් නෙවෙයි. සියයට 50කට වැඩි නියෝජනයක් ලැබුණහොත් දේශපාලන පක්ෂයකට තනිවම සභාපතිවරයෙක් තෝරා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැති වුණොත් සම්මුතියකින් තමයි ඒ දේ කරන්න වෙන්නේ.

මහ බැංකු බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන්ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අදහස් පළ කළේය.
මේ රටේ ජනතාව අපේක්ෂා කළ නව දේශපාලනමය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට මහ බැංකු බැඳුම්කර කොමිසමේ විමර්ශන හරහා ඇති කිරීමට හැකිවීම අගය කළ යුතුයි. මේ රටේ තිබුණු ලොකුම වංචාව, ලොකුම ගනුදෙනුව මේ බැඳුම්කර මගඩියයි. ඉතිහාසය ගත්විට 1948දී නිදහස ලැබීමෙන් පසු මේ රටේ විවිධ වකවානුවල අගමැතිවරුන්, ජනාධිපතිවරුන් යටතේ රට පාලනය කළා. ඒ හැම මොහොතකම පෞද්ගලික පළිගැනීම් සඳහා කොමිසම් පත් කළා මිස පොදු සිද්ධියක් සම්බන්ධයෙන් මෙවැනි සාර්ථක කොමිසම් පත් කළේ නැහැ. කොමිසම හරහා රටට යම් දෙයක් හෙළි කළා. රටේ හැම පුද්ගලයකුම මේ කොමිසම හරහා සිදුවූ දේ දන්නවා. බලන්න අගමැතිවරයාට කොමිසමට පැමිණීමේ අවශ්‍යතාවක් නොතිබුණත් එතුමා කොමිසමට පැමිණ සාක්ෂි ලබා දුන්නා. මේක යහපාලන ආණ්ඩුවේ ප්‍රශංසනීය වැදගත්කමක්. ඒ ගැන රනිල් වික්‍රමසිංහට ස්තුතිය පළ කරනවා. ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා වැරැදිකරුවන්ට දඬුවම් දෙයි කියලා. මේක ඓතිහාසික අවස්ථාවක්.

නාවික හමුදාවේ ඉල්ලීමකට අනුවයි රුසියානු ගෙපාර්ඩ් යුද නෞකාව මිලදී ගන්න තීරණය කළේ. ඒ සම්බන්ධ විවිධ ප්‍රචාරයන් ගෙන යනවා. භූමියේ සහ සාගර ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ නෞකාව මිලදී ගන්න යන්නේ. මෙරට ආර්ථික කලාපය ආරක්ෂා කිරීම, ත්‍රස්ත ප්‍රහාර සහ මුහුදු කොල්ලකරුවන්ගෙන් නාවික ගමනාගමන කටයුතු ආරක්ෂා කිරීම, සෝදිසි මෙහෙයුම් සහ ආපදාවන්ට ලක්වූවන් ගලවා ගැනීම, ඉහළ වටිනාකමකින් යුත් වෙනත් නෞකාවලට උපරිම ආරක්ෂාව සලසාදීම යන මූලික කරුණු පදනම් කරගනිමින් තමයි මේ නෞකාව රුසියානු රජයත් ලක් රජයත් අතර ගිවිසුමක් යටතේ මිලදී ගනු ලබන්නේ. මතක තබාගත යුතුයි ශ්‍රී ලංකාව වටා ඇති අපගේ අනන්‍ය ආර්ථික කලාපය වර්ග සැතපුම් 5,12,000ක් බව. එනම් අප සතු භූමි ප්‍රමාණය මෙන් 8 ගුණයක්. එය ආරක්ෂා කිරීම සඳහා මෙවැනි ඉහළ තාක්ෂණයෙන් යුත් නවීන නෞකා එකක් නොව 20ක්ද ප්‍රමාණවත් නොවේ. සාගර සම්පත් ආරක්ෂා කිරීමට දැනට පවතින පහසුකම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. වෙනත් රටවල් නිරන්තරයෙන් අප සතු සාගර සම්පත් සොරාගෙන යයි. අපේ සාගරය අපට ආරක්ෂා කිරීමට නම් නිර්භයව අප නාවික හමුදාව ශක්තිමක් කළ යුතුයි.

ලෝකයේ ඇති ඉහළතම තාක්ෂණය මේ නෞකාව සතුයි. මෙම නෞකාව සියයට සියයක් රාජ්‍යයන් දෙකක් අතර ඉතා සහනදායි කොන්දේසි මත ලබාගන්නා වූ ප්‍රතිපාදන මත මිලදී ගත්ත එකක්. ඒ නිසා ඇතැමුන් සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාර රාජ්‍යයක් ලෙස හෙළා දකිනවා.

සිදත් මෙන්ඩිස්
ඡායාරූප - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon