ප්‍රතිපත්තිමය තීන්දුවක් ආණ්ඩුව නොගත්තා නම් රවි සම්බන්ධයෙන් ගන්නා තීන්දුව කුමක්ද?

  👤  3296 readers have read this article !
By mawbima 2017-11-22

බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් පසු එහි පිටපතක් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම කඩිනමින් විභාග කොට අවසන් වන ආකාරයට අධිකරණයේ නඩු පවරා සාධාරණ ලෙස යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදු කරන්නැයිද මන්ත්‍රිවරයා ඉල්ලීමක් කරයි.
ඊයේ (21දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික
පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ලංකා ඉතිහාසයේ සිදුවු දැවැන්තම බැඳුම්කර මගඩිය පිළිබඳව අගමැතිවරයා ඊයේ දිනයේ සාක්ෂි ලබාදීමෙන් පසුව කොමිසමේ වැඩකටයුතු අවසන් කරලා එහි වාර්තාව ලබන මස 8 වැනිදා ජනාධිපතිවරයා වෙත ලබාදීමට නියමිතය.

ආණ්ඩුව සමඟ විපක්ෂයේ සියලුම පක්ෂ දින 100 වැඩපිළිවෙළ කරද්දී තමයි බැඳුම්කර වංචාව සිදු වුණේ. කිසිදු පෞද්ගලික න්‍යාය පත්‍රයකින් තොරව මහජනයාගේ විශ්වසනීයභාවය මත තිබෙන මහ බැංකුව එල්.ටී.ටී.ඊ. බෝම්බයට අහුවුණාට වඩා දරුණුයි බැඳුම්කර බෝම්බයට හසුවීම.

අවසාන වශයෙන් අප ඉල්ලීම් දෙකක් කරනවා. එකක් තමයි බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන් පසුව එහි පිටපතක් පාර්ලිමේන්තුවට භාරදෙන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 වැනි වගන්තියට අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට පැවරෙන බැවින් රජයට ණය ගන්න ගිහින් නිකුත් කළ බැඳුම්කරය පදනම් කරගෙන සිදු වූ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුයි.

දෙවැනි ඉල්ලීම තමයි ඉතාමත් කඩිනමින් විභාග කොට අවසන් වන ආකාරයට අධිකරණයේ නඩු පැවැරීම වහාම ක්‍රියාත්මක කළ යුතුයි යන්න. වැරැදිකරුවන්ගේ පක්ෂ, පාට, බල පුළුවන්කාරකම් නොතකා මේ අපරාධය සම්බන්ධයෙන් නඩු පවරලා සාධාරණ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න කියලා රට වෙනුවෙන් ඉල්ලා සිටිනවා.

අලුත් ප්‍රශ්නයක් මතු වෙනවා අගමැතිවරයා හෙළි කළ කරුණුත් සමඟ. බැඳුම්කර වෙන්දේසිවලදී රජයේ බැංකු අඩු පොලියට ලංසු තියන්න කියා රජය ප්‍රතිපත්ති තීන්දුවක් නොගත් බව ඔහු කියනවා. නමුත් අදාළ බැංකුවල සභාපතිවරු ඇවිල්ලා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන්නා රවි කරුණානායක මහතා අඩුවෙන් ලංසු තබන්න මම සියල්ල බලාගන්නම් කියා පැවැසූ බවට. අපි අගමැතිවරයාගෙන් අහනවා එලෙස ප්‍රතිපත්ති තීන්දුවක් ආණ්ඩුව නොගත්තා නම් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව යටතේ එතුමා ගන්න තීන්දුව කුමක්ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.එල්. පීරිස් මහතා,

පාර්ලිමේන්තු වරප්‍රසාද තමන්ගේ හොරකම් මගඩි වසන් කිරීමට පාවිච්චි කරන්න බැහැ. මෙයින් රටේ ජනතාවට වුණු පාඩුව ඉතා විශාලයි. රංගනයේ දෙවැනි අදියර මේ මගඩිය වසන් කිරීමට දරන රංගනයයි. කෝප් කමිටු සාමාජිකයන් ඊට ඍජුව සහභාගි වෙනවා. මෙහි අවසාන වගකීම භාර වෙන්නේ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා මේ කෝප් කමිටු සාමාජික ඇමැතිවරුන්ගේ හැසිරීම ගැන සෑහීමකට පත්වෙනවාද? ඒ සම්බන්ධයෙන් එඩිතර ප්‍රකාශයක් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ ඇමැතිවරු වහා අස්කළ යුතුයි. එතුමා එසේ නොකරනවා නම් එයින් පැහැදිලි අනුමැතියක් ලැබෙනවා එතුමා මේවා පිළිගන්නා බවට.

ඉෂාරා සිල්වා
ඡායාරූප - අමිත තෙන්නකෝන්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon