අධිකරණය හමුවේ නිරවුල්ව පැහැදිලිව සාක්කි දීමට පියවර ගන්න

  👤  3279 readers have read this article !
By mawbima 2017-11-22

කේ.එස්. උදයකුමාර්

හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරියට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයැදුම්පත්‍රයක් නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව අධිකරණය හමුවේ නිරවුල්ව හා පැහැදිලි ආකාරයට සාක්ෂි දීමට පියවර ගන්නැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලාත්මක නිලධාරි ප්‍රභාත් රාජීන්ද්‍ර පෙරේරා මහතාට තුන් වතාවක් අවවාද කළේය.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමැති විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලිසිය මඟින් පවරා ඇති නඩුවක් (20දා) විභාගයට ගත් අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට එසේ අවවාද කළේය.
එම නඩුව (20දා) විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බලාත්මක නිලධාරි ප්‍රභාත් රජීන්ද්‍ර පෙරේරා මහතා සාක්ෂි ලබා දුන්නේය.

මෙහිදී සාක්ෂිකරු කියා සිටියේ 2012 වසරේ දිනයක එවකට නිවාස ඇමැතිවරයාව සිටි විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය එවකට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ලෙස කටයුතු කළ ජගත් විජේවීර මහතා හමුවීමට පැමිණි බවය. ඉන්පසුව කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත තමා ඇය වෙත ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා වූ අයැදුම්පත්‍රයක් ලබාදුන් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.
කොමසාරිස් ජනරාල්වරයාගේ පෞද්ගලික සහකාරවරියක විසින් එම අයැදුම්පත්‍රය සම්පූර්ණ කළ අතර එක්දින සේවය යටතේ එම හැඳුනුම්පත ලබා ගැනීම සඳහා තමා අදාළ අයැදුම්පත එක්දින සේවා කවුන්ටරය වෙත භාර දුන් බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා - මෙම හැඳුනුම්පත ලබා ගැනීමෙන් පසුවත් ඔබ ශෂී වීරවංශ මුණගැසී තිබෙනවාද?

සාක්ෂිකරු - ඔව්. ස්වාමිනී!
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - කොහේදීද එසේ හමුවුණේ?
සාක්ෂිකරු - ඇමැති විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - මොකක් සඳහාද ඔබ ඇය හමුවුණේ?
සාක්ෂිකරු - ඇයගේ පුත්‍රයාගේ උප්පැන්න සහතිකයේ සඳහන් නම වෙනස් කිරීමට අවශ්‍ය බව පවසා ඒ සඳහා ඇය මගෙන් උපදෙස් ඉල්ලා සිටියා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් - ඉතින් ඔබ උප්පැන්න සහතික නිකුත් කරන ආයතනයක නොවෙයිනේ වැඩ කරන්නේ?
සාක්ෂිකරු - (පිළිතුරු නොදෙයි)
මහෙස්ත්‍රාත්වරයා - සාමාන්‍ය මනුස්සයෙක් උදව්වක් ඉල්ලූ විට රාජකාරි වෙලාවේ ඔබ ඒ පුද්ගලයාගේ නිවෙසට යන්නේ නැහැනේ?
සාක්ෂිකරු - ඔව් ස්වාමිනී!

මහෙස්ත්‍රාත්වරයා - එසේ නම් ඔබ රාජකාරි වේලාවේ විත්තිකාරිය හමුවීමට ගියේ නිසි අවසරයක් ඇතිවද?
සාක්ෂිකරු - අවසරය ඇතුවයි ගියේ ස්වාමිනී!
මහෙස්ත්‍රාත්වරයා - කාගෙන්ද අවසරය ලබාගත්තේ?
සාක්ෂිකරු - මතක නැහැ ස්වාමිනී.
අනතුරුව සාක්ෂිකරුගෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම අවසන් වූ අතර සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම දෙසැම්බර් මස 07 වැනිදාට කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා තීන්දු කළේය.

මෙම නඩුවේ විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සමඟ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon