මහින්ද එක්ක කතා කරපු ශ්‍රී ලනිප ඇමැතිවරුන් හා එජාප මන්ත්‍රිවරුන් කවුද ?

  👤  3411 readers have read this article !
By mawbima 2017-11-22

පාර්ලිමේන්තුව ඊයේ (21දා) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමත් සමඟම මැති සබය තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූයේ අර්ජුන් ඇලෝසියස් හා කෝප් කමිටුවේ සාමාජිකයන් අතර සිදුවී තියෙන දුරකතන ඇමැතුම් ගැන කතාබහ ඊයේ දිනයේදීත් කරළියට පැමිණි නිසාය.
ඊට පෙර දින සභානායක උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතුකරන ලද වරප්‍රසාද ප්‍රශ්නයකට කතානායකවරයා මුලින්ම තම ස්ථාවරය පැහැදිලි කළේය.

බැඳුම්කර ජනාධිපති කොමිසමේදී කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිප දෙනකු දුරකතන ඇමැතුම් ලබාගත් බවට සඳහන් තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා එම මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා සිය වරප්‍රසාද ප්‍රශ්නය මඟින් ඉදිරිපත් කර තිබිණි.
"මේ වරප්‍රසාද ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට යොමු කරනවා. මේ ගැන පක්ෂ නායක රැස්වීමකුත් කැඳවලා සාකච්ඡා කරලා සුදුසු පියවරක් ගන්නවා" යනුවෙන් කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

මේ සමඟම ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සිටින දෙසින් යම් කසුකුසුවක් ඇසෙන්නට විය. ඒ සමඟම රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාය.

"අර්ජුන් ඇලෝසියස්ට මේ කෝප් කමිටුවේ සාමාජිකයන් ලබා ගත් දුරකතන ඇමැතුම් සී.අයි.ඩී. එකෙන් සවන්දීලා කියලා කිව්වා. එහෙම සවන්දීමක් සිදුවෙලා නැහැ. එහෙම ටැප් කරලා නැහැ. ඒක නිසා සභානායකතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයත් සභාව නොමඟ යවලා තියෙනවා" යනුවෙන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
ඊට ප්‍රතිචාර දැක්වීමට වහාම නැඟී සිටියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.
"අපි පරීක්ෂණවලට විරුද්ධයි කියලා කිව්වෙ නැහැ. පොලිසිය දුරකතන ඇමැතුම් ගැන ලබාගත් තොරතුරු රහසිගතව තියාගන්න තිබුණා. නමුත් ඒක ප්‍රසිද්ධියට පත් කළා. පත්තරවලට ලීක් කළා. ඒක වැරැදියි" සභානායක
ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පැවැසීය.

මේ සමඟම නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතායි.
"මේ දුරකතන ඇමැතුම් සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කල් තැබීම් අවස්ථාවේ ඡන්දයක් ඉල්ලලා මං කතානායකතුමාට යෝජනාවක් භාර දුන්නා. නමුත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව එම යෝජනාව විවාදයට ගන්න බැහැ කියලා දැනුම්දීලා තියෙනවා. නමුත් එම යෝජනාව විවාදයට ගැනීම සඳහා ඉඩ දුන්නා නම් හොඳයි. අද මේ බැඳුම්කර කොමිසම ගැන මුළු රටේම කතා වෙනවා. ඒක නිසා මේ යෝජනාව විවාදයට ගත්තා නම් පාර්ලිමේන්තුවේදී බොහෝ කරුණු සාකච්ඡා කිරීමට හැකියාව තියෙනවා" යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඉන් අනතුරුව රීති ප්‍රශ්නයක් මතුකරමින් නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. ඒ රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයායි.

"සභානායකතුමා ඊයේ වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කිව්වේ දුරකතන ඇමැතුම්වලට පොලිස් නිලධාරීන් හොරෙන් ඇහුම්කන් දුන්නා කියලා. නමුත් බැඳුම්කර නිකුතුව ගැන සොයන ජනාධිපති කොමිසම ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් කිව්වා මෙම දුරකතන ඇමැතුම්වලට සවන්දීමක් සිදුකරලා නැහැ කියලා. ඒක නිසා සභානායකතුමා සභාව නොමඟ යවලා තිබෙනවා" යනුවෙන් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා චෝදනා නැඟීය.
"අපි මේ පරීක්ෂණවලට විරුද්ධ නැහැ. අපි කිව්වෙ මේ කරුණු ප්‍රසිද්ධ කිරීම වැරැදියි කියලයි. මේ තොරතුරු දැනගෙන හිටියේ පොලිසියයි, නීතිපති දෙපාර්තමේන්තුවයි පමණයි. එහෙනම් ඒවා ලීක් වුණේ කොහොමද" යනුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් විමසා සිටියේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.
බුද්ධශාසන, පරිසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද නැඟී සිටියේ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට සහයෝගය දැක්වීම සඳහාය.
"ඊයේ මමත් කොමිසම රැස්වන ස්ථානයට ගියා. කොමිසමේ සභාපතිතුමා කිව්වා දුරකතන ටැප් කරන්න කිසිම උපදෙසක් ලබාදීලා නැහැ කියලා" යනුවෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ සමඟම රීති ප්‍රශ්නයක් මතු කරමින් නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතාය.
"සභානායකතුමා කිව්වා මේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම වැරැදියි කියලා. අපි මහජන නියෝජිතයෝ. ඒක නිසා අපි ගැන තොරතුරු දැනගැනීමේ අයිතිය රටේ පොදු මහජනතාවට තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනාපු ආණ්ඩුව තොරතුරු දැනගන්නවාට විරුද්ධ වෙන්නෙ ඇයි. ජනාධිපති කොමිෂන් සභාවක් කියන්නේ ප්‍රසිද්ධ
කොමිෂන් සභාවක්" යනුවෙන් උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

"මේ ගොල්ලන් දැන් තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරනවා. එදා තොරතුරු ඉල්ලපු මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් ඉස්සුවා" යනුවෙන් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරනවාත් සමඟම මැතිසබය තුළ ඇතිවූයේ උණුසුම්කාරී තත්ත්වයකි.

මෙහිදී ආණ්ඩු පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනතා නියෝජිතයන්ගේ කෑ කෝ ගැසීම් නිසා මැති සබය තුළ ඝෝෂාකාරී තත්ත්වයක් ඇති විය.
ඒ සමඟම රීති ප්‍රශ්නයක් මතු කරමින් නැඟී සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතාය.
"අගමැතිතුමා ඊයේ බැඳුම්කර කොමිසමට ගිහිල්ලා මුළු රටටම පමණක් නොවෙයි, මුළු ලෝකයටම ලබාදුන්නේ ආදර්ශයක්" යනුවෙන් චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
පෙරේදා ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා උපහැරණයක් ගෙන දක්වමින් ප්‍රකාශ කළේ "මොළේ දන්නේ අබ කෑ අයගේ" බවයි.

ඒ වගේම ඊයේ දිනයේත් නිහාල් ගලප්පත්ති මන්ත්‍රිවරයා උපහැරණයක් මඟින් කීවේ "කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ" කියායි.
අමාත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (21දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 1දීය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි නොවූයේ ඉන්දීය සංචාරයට සහභාගි වී සිටි නිසාය.

ගිය සතියේදී කැබිනට් රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට යම් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කමිටු ශාලාවේ පැවැත්වීමට නියමිතව තිබුණු රැස්වීමකට සහභාගි වීම සඳහා ඊට යාබද කමිටු ශාලාවේ කැබිනට් රැස්වීම සඳහා අමාත්‍යවරුන් රැස්ව අසුන්ගෙන සිටින බව දක්නට ලැබිණි. මෙම මන්ත්‍රිවරයාද එම ස්ථානයට ගොස් අසුන් ගත්තේය. ඒ වන විට ජනාධිපතිවරයා පැමිණ නොසිටි අතර කැබිනට් අමාත්‍යවරුන් සිටියේ ජනාධිපතිවරයාගේ පැමිණීම බලාපොරොත්තුවෙනි.

"මන්ත්‍රිතුමා, මන්ත්‍රිතුමා මේ කණ්ඩායම් රැස්වීම නොවෙයි කැබිනට් එක" යනුවෙන් පිටුපස සිටි අමාත්‍යවරයකු හෙමිහිට පැවැසීය.
වටපිට බැලූ මන්ත්‍රිවරයා තමන්ට වැරැදී ගොස් ඇති බව තේරුම් ගෙන හිමින් සීරුවේ කැබිනට් රැස්වීමෙන් නැඟිට අනෙක් කමිටු ශාලාවේ පැවැති රැස්වීමට ගියේය.
මේ අතර අය-වැය කාරක සභා අවස්ථාව ඊයේ පැවැත්වුණේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලයි.

මැති සබය උණුසුම් කරමින් එහිදී වාද විවාද ඇතිවුණේ මහනුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු අතරය. එම උණුසුම්කාරී තත්ත්වය වඩාත් උණුසුම් වූයේ ඒ සමඟම සුනඛ කතාවක්ද කරළියට පැමිණි නිසාය. ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ බැඳුම්කර කොමිසමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන් සම්බන්ධයෙන් නීතිපතිට සිදුකළ බලපෑම පිළිබඳ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බවයි.
"අගමැතිතුමා බැඳුම්කර කොමිසමේදී නීතිපතිතුමාගෙන් අහලා තියෙනවා මහින්දානන්ද අලුත්ගමගේගේ ෆයිල් එකට මොකක්ද කරන්නේ කියලා. එහෙම අහන්න පුළුවන්ද. මේ රටේ නීතිය අගමැතිතුමාද. සී.අයි.ඩී. එක අගමැතිතුමාද. එෆ්.සී.අයි.ඩී. එක අගමැතිතුමාද. අපි දාන හිරගෙවල්වලම තමයි ඔයගොල්ලන්ටත් යන්න වෙන්නේ. මේ එෆ්.සී.අයි.ඩී. එක දිගටම තියෙනවා. හොඳට මතක තියාගන්න"

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඊට බාධා කළහ.
මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතාද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාට දෝෂාරෝපණය කළේය.
මේ සමඟම මැතිසබයේ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයකි.
"මේ සුනඛයෙක් ඇවිල්ලා පාර්ලිමේන්තුවට. මේ සුනඛයා බැඳලා දාන්න" මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
"අලුත්ගමගේ කෙනකුට සුනඛයා කියලා මහින්දානන්ද මන්ත්‍රිතුමා අපහාස කරනවා" නලින් බණ්ඩාර මහතා පැවැසීය.
"මං කාටවත් සුනඛයා කිව්වේ නැහැ. නම කියලාම සුනඛයා කිව්වේ නලින් බණ්ඩාර මන්ත්‍රිතුමා" යනුවෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.
මේ උණුසුම මධ්‍යයේ රීති ප්‍රශ්නයක් මතු කිරීමට නැඟී සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතාය.
"මන්ත්‍රිතුමා 'මෙගා පොලිස්' කියන්නෙ මොකක්ද කියලා කියන්න පුළුවන්ද" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණවීර මහතා විමසීය.
ඒ කතාවට පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතාට යකා නැග්ගේය.
"ඒක අම්මගෙන් අහගන්න" යනුවෙන් ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා උස් හ¾ඩින් කෑ ගසමින් පැවැසුවේය.
මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ බිම් මහලේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරයකුට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනකු මුණ ගැසුණි.
කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසුව පැමිණි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට මුණ ගැසුණේ වෛද්‍ය රමේෂ් පතිරණ සහ ජානක වක්කුඹුර යන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනාය.

"කොහොමද සුදෝ" යනුවෙන් කතාවට මුල පිරුවේ විජිතමුණි සොයිසා අමාත්‍යවරයාය.
"තව අවුරුදු දෙකයි තමයි සුදෝ" යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.
"අවුරුදු දෙක නෙවි මල්ලි, 2025 වෙනකම්ම අපි ඉන්නවා" යනුවෙන් විජිතමුණි සොයිසා අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.
විවාදයට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා විසින් එම රතු එළිය දල්වන ලදී.
"විජිතමුණි සොයිසා අමාත්‍යවරයා පුවත්පතකට කියලා තියෙනවා පුංචි ඡන්දෙට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක එකතු වෙන්න ඕන කියලා. පුංචි ආණ්ඩුව මහින්ද මහත්තයා එක්ක හදනවා නම් මහ ආණ්ඩුවේ මෙහෙම ඉන්න බැහැ. එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න ඕන. ජනාධිපතිතුමා පත්කළේ අපි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මුණ ගැසුණේය.
සුහදව කෙටි කතා බහක් එහිදී සිදුවිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවා ආහාරය ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු හමු විය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා එසේ මුණගැසුණහ. වර්තමාන දේශපාලන තත්ත්වය ගැන මෙහිදී කතාබස් කෙරිණි.

"ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි විය යුතුයි" යනුවෙන් පැවැසූ අමාත්‍යවරු දෙදෙනා එහි අවශ්‍යතාව අවධාරණය කළහ.
"අඩුපාඩු හුඟාක් තියෙනවා. ඒවා හදාගන්න ඕන. මේ ආණ්ඩුව ජනතා විරෝධී වැඩ කරනවා. ඊට එරෙහිව ජනතාවගේ පැත්ත ගත යුතුව තිබෙනවා" යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

"මොකද, නිමල් ඇමැතිතුමා කොණ්ඩෙට වුණේ." මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විමසීය.
"සර්, බාරයක් වෙනුවෙන් කොණ්ඩෙ කැපුවා" නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon