හමුදාවෙන් ඉවත් කළ සොහොන් කොත්වල කෑලි එකතු කර ස්මාරකයක් හදලා

  👤  4035 readers have read this article !
By mawbima 2017-11-23

මුලතිව් - ශෂිකුමාර්, ඕමන්ත - ශේෂලා අමරසිංහ

2009 වසරේදී යුද්ධය අවසන් වූ පසු ආරක්ෂක අංශ විසින් උතුරේ ජනතාවගේ යුද මානසිකත්වය තුරන් කිරීමේ එක් පියවරක් වශයෙන් උතුරේ ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. මහවිරු සොහොන් ඉවත් කළද එසේ ඉවත් කරන ලද සොහොන් කොත් එකතු කොට කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ ස්මාරකයක් ඉදිකොට ඇත.

මියගිය මහවිරුවන් වෙනුවෙන් නොවැම්බර් මස 27 වැනිදාට යෙදෙන මහවිරු දිනයේ උතුරු පළාත් ප්‍රධානතම මහවිරු සැමරුම සිදු කෙරෙන කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ මෙම ස්මාරකය නිර්මාණය කොට ඇත.

මෙහි එක් සංවිධායකවරයකු වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. ශ්‍රී ධරන් මහතාද කටයුතු කරයි. මියගිය මහවිරුවන් වෙනුවෙන් සිහිකිරීමට දැනට ඉතිරිව ඇති එකම සිහිවටන ඉවත් කරන ලද මහවිරු සොහොන් කෑලි හෙයින් එම සොහොන් කොටස් යොදා මෙම ස්මාරකය සෑදීමට මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් විසින් පියවර ගෙන ඇත.

ආරක්ෂක අංශ විසින් ඉවත් කරන ලද කොටි සංවිධානයේ සොහොන් කොත් නැවත එකතු කොට මෙසේ ස්මාරක සෑදීමෙන් තුරන් වූ කොටි සංවිධානයට නැවත පණ දෙන්නට දරන වෑයමක්ද එසේත් නැතිනම් යුද මානසිකත්වය ටිකෙන් ටික අඩුවූ උතුරේ වැසියන්ට නැවත අඳුරු අතීතය සිහි ගන්වා යුද මානසිකත්වය ඇති කරවීමට ගන්නා උත්සාහයක්ද යන්න මෙවර මහවිරු සැමරුම දෙස අවධානය යොමු කිරීමට බලධාරීන් පියවර ගතයුතු බවටද උතුරේ ඇතැම් සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

මේ අතර 27දාට යෙදෙන මහවිරු දිනයට සමගාමීව මහවිරු සතිය පෙරේදා (21දා) සිට යාපනය සරසවියේ ඇතුළු උතුරු පළාතේ ස්ථාන කීපයකදීම ආරම්භ කොට ඇත.
මේ අනුව පෙරේදා රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට මහවිරු දිනය වෙනුවෙන් ප්‍රතිමාවක් සකස් කර කොඩි වැල් ඇද එය විදුලි පහනකින් දල්වා මහවිරු සතිය ආරම්භ කිරීමට එහි සිසුන් විසින් පියවර ගෙන තිබිණි.

මේ අතර වන්නි විලාන්කුලම් ප්‍රදේශයේදී පෙර මහවිරු සොහොනක් තිබූ ස්ථානයේ මල් පහන් දැල්වීමට මියගිය මහවිරුවන්ගේ ඥාතීන් විසින් පියවර ගෙන තිබිණි.
1982 වසරේ නොවැම්බර් 27දා කොටි සංවිධානයේ ප්‍රථම සාමාජිකයා වූ කර්නල් එස්. ශංකර් නමැත්තකු මිය යෑම මූලික කොට ගෙන මෙම මහ විරු දිනය හා සතිය නම් කොට තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon