ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ඉල්ලා අස්වෙයි

  👤  3957 readers have read this article !
By mawbima 2017-11-23

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පෙරේදා (21දා) පැවැති එම පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක විමල් වීරවංශ මහතා වෙත භාරදුන් බව "මව්බිම" කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේය.

පෞද්ගලික හෘද සාක්ෂියට එකඟව උපරිම කැප කිරීමකින් කටයුතු කිරීමට බාධා පවතින බැවින් තමා ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ බවද හෙතෙම පැවැසීය.
වසර 30කට අධික කාලයක් පූර්ණකාලීන ලෙස දේශපාලන කටයුතුවල තමන් නිරතව සිටි බවත් ඉදිරියේදී නිවෙසේ පූර්ණ කාලීන හිමිකරු බවට පත්වීම සඳහා මෙම තීරණය ගත් බවත් හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් "මව්බිම" කළ විමසීමකදී එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා පැවැසුවේ පෞද්ගලික සහ සෞඛ්‍ය හේතූන් මත විතාරණ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

2009 මැයි මාසයේ සිට වසර 8ක කාලයක් ප්‍රියන්ජිත් විතාරණ මහතා ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ඒ මහතාගේ පුරප්පාඩු වූ ප්‍රධාන ලේකම් ධුරය සඳහා නීතිඥ කපිල ගමගේ මහතා නම් කර මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා යවා ඇති බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon