හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකළ ඩී.ඒ.

  👤  3607 readers have read this article !
By mawbima 2017-11-23

මාගම රාජධානියේ කාවන්තිස්ස රජතුමා ගිරුවාය, වෙල්ලස්ස වැනි ප්‍රදේශ අස්වැද්දූ ආකාරයටම, ඩී.ඒ. රාජපක්ෂ මහතාද සාර්ථක ගොවියකු ලෙස එතුමාගේ පරිමාණයෙන් ගිරුවායේ කෙත්වතු, වතුපිටි වගා කළ බව සියලු දෙනා දන්නා කාරණයකි. ඒ මඟින් එතුමා ගොඩනඟාගත් ආර්ථික ශක්තිය තමාගේ වැඩිමහල් සොහොයුරා වූ ඩී.එම්. රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවලට ලබාදුන්නේය. ඩී.එම්. රාජපක්ෂ මහතා ආරම්භක යුගයේ ගිරුවායේ දේශපාලනය කරද්දී ඒ වෙනුවෙන් සියලු දෙනාට බත සැපයුවේ ඩී.ඒ. රාජපක්ෂ මහතා බව ප්‍රසිද්ධ කාරණයකි.

ඒ ප්‍රදේශයේ ප්‍රධාන ගොවියකු ලෙස එසේ සිය සොහොයුරාට ආර්ථික ශක්තිය ලබාදීමට අමතරව තමන්ගේ ඉඩකඩම් පවා විකුණුවා. ඒ මුදල් සිය වැඩිමහල් සොහොයුරාගේ දේශපාලන කටයුතුවලට වියදම් කළා. ඒ නිසා ඩී.එම්. රාජපක්ෂ මහතාගේ දේශපාලනයට සිය බාල සොහොයුරා වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා හොඳ ශක්තියක් වූ බව පැහැදිලිය.
ඩී.එම්. රාජපක්ෂ මහතාගේ හදිසි අභාවයෙන් පසුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ගිරුවායේ නියෝජනය වෙනුවෙන් ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙන්නේ මේ පසුබිම යටතේය. ඒ අනුව ඩී.ඒ. රාජපක්ෂ මහතා නිතරගයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරයකු බවට පත්වන්නේ මේ පසුබිම යටතේය. එසේ දේශපාලනයට අවතීර්ණ වන ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ දේශපාලනය මුළුමනින්ම පිරී තිබුණේ ගැමිකමෙනි. ගමේකමෙනි. වෙනකක් තබා එතුමා තමන් මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන නාම යෝජනා පත්‍රය අස්සන් කළේද වෙලේ කුඹුරු වැඩ කරමින් සිටි අවස්ථාවක වක්කඩකින් අත සෝදාගැනීමෙන් පසුවය.

එතුමාගේ පෞද්ගලික ජීවිතයත්, විශේෂයෙන් දේශපාලන ජීවිතයත් යන දෙකම නියෝජනය කළේ අපේ ගැමිකම තුළ රැඳී පැවැති ඉපැරැණි සාධනීය සංස්කෘතිය තුළය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය එතුමාගේ පවුලයි. එතුමා සමඟි සම්පන්න පවුලක් ගොඩනැඟුවේය.
ගමේ සියලුදෙනා සමඟ නෑකම් හිතමිතුරුකම් පවත්වා ගනිමින් සමඟියෙන් සමාදානයෙන් ජීවත්වීම එම සංස්කෘතියේ හරය විය. පවුලේ සමඟියෙන් පටන්ගෙන, ගමේ සමඟියත්, ප්‍රදේශයේ සමඟියත් ඉන් ඔබ්බට ගිය මුළු රටේම සමඟියත් පවත්වාගැනීම එකල අපට උරුම දෙයක් විය.

එකල මහා පරිමාණ ගොවිපොළ හෝ වෙනත් සංවර්ධන ඒකක නොතිබිණි. මේ පසුබිම මැද ජනතාව සතුටින් සමාදානයෙන් ජීවත් විය. මේ තත්ත්වය වෙනස් වූයේ විශේෂයෙන් ඉංගී්‍රසි පාලනයත් සමඟය. ඔවුහු අපේ සංස්කෘතිය ඇතුළු සියලු දේ විනාශ කළහ. අපේම ඇතැම් දේශපාලන නායකයෝද එයට දායක වූහ. ඒ විනාශය නොනැවතී මේ දක්වාම සිදුවෙමින් තිබේ.

ඩී.ඒ. රාජපක්ෂ මහතාට තමන් අනුගමනය කළ ශ්‍රී ලාංකික සාධනීය සංස්කෘතිය පවත්වාගෙන යන්නට සිදුවුණේ එවැනි පසුබිමකය. එතුමන් සිය පවුල හරහා ගොඩනැඟූ සිය පවුලේ සහෝදරයන්ගේ සමඟිය නොවේ නම් මෑතකාලීනව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කරන්නට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයට හැකි නොවන්නටත් ඉඩ තිබිණි. ඒ ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතු වූ සාධකයක් ලෙස රාජපක්ෂ පවුලේ සමඟිය හඳුනාගැනීම වැදගත් කාරණයකි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ දවස ගත වුණේ වෙලේ, කුඹුරේ, නියරේ, ලියද්දේය. එසේ දවස ගතකර සරුසාර අස්වැන්නක් ගෙට ගත් ගොවි සංස්කෘතියේ ගැමිකම තමන්ගේ සාමාන්‍ය ජීවිතයේ පමණක් නොව දේශපාලන ජීවිතයේත් ප්‍රධාන ලක්ෂණය කරගත් නායකයකු ලෙස ඩී.ඒ. රාජපක්ෂ මහතා ප්‍රසිද්ධය. එතුමාගේ දේශපාලන ව්‍යාපාරය මෙහෙය වුණේ ගම කේන්ද්‍ර කරගත් සංස්කෘතියකය. ඒ නිසයි එතුමා හැමවිටම ග්‍රාමීය කෘෂිකර්මයත් කෘෂිකර්මය ආශි්‍රත කර්මාන්තත් දියුණු කිරීම කෙරෙහි එවකට පැවැති රජයේ අවධානය යොමු කරවූයේ.

ගොවියකු හා ගැමියකු ලෙස ගැමි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය හා සංස්කෘතිය විසින් මෙහෙයවන ලද ප්‍රතිපත්තිගරුක දේශපාලකයකු ලෙස එතුමා පෙනී සිටියේය. ඒ ප්‍රතිපත්තිගරුක බව ප්‍රදර්ශනය කළ හොඳම අවස්ථාව ලෙස 1951 බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂයේ සිට විරුද්ධ පක්ෂයට ගිය අවස්ථාව දැක්විය හැකිය. කිසිවකුගේ පෙලඹවීමකින් තොරව කිසිදු පූර්ව දැනුම්දීමක්ද නොකර ස්වයං මෙහෙයවීමෙන් ප්‍රතිපත්තිගරුකව පිහිටා එදා එතුමා බණ්ඩාරනායක මහතා සමඟ විපක්ෂයට ගියේය. 1956 ඓතිහාසික දේශපාලන පෙරළියේදී බණ්ඩාරනායක මැතිතුමාට රුහුණේ දැවැන්ත දායකත්වය ලබාදීමට ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාට හැකි වූයේ ඒ නිසාය.
ජනතාවාදී ප්‍රතිපත්තිය පෙරටු කරගත් දේශපාලනයක් කරගෙන ගිය ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ඒ දේශපාලනය කුමන කාලයකටත් වඩා අද සිටින දේශපාලනඥයන්ට ආදර්ශ සපයන බව එතුමාගේ 50 වැනි ගුණානුස්මරණය සිදුවන අවස්ථාවේ අපට අවධාරණය කරන්නට හැකිය.

ශාස්ත්‍රපති පණ්ඩිත ගලගම ධම්මරංසි හිමි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon