ගජමුතු 3ක් සමඟ තව තුනක් අල්ලයි

  👤  3112 readers have read this article !
By mawbima 2017-12-06

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය ඊයේ (05දා) ගල්ගමුව පලුකන්දෑව ප්‍රදේශයේ කළ තවත් වැටලීමකදී ගජ මුතු 3ක් සහ ඒවා විකිණීමට ළඟ තබාගෙන සිටි සැකකාර පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගජමුතු 3ක් රුපියල් ලක්‍ෂ 50කට විකිණීමට ගැනුම්කරුවන් සොයන බවට පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයන් සේ වෙස්වළාගත් පොලිස් නිලධාරීන් දින 2ක් පුරා සැකකරුවන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වෙමින් රුපියල් ලක්‍ෂ 50කට ගජමුතු මිලදී ගැනීමට එකඟ වී ඇත. ඒ අනුව ඒවා මිලදී ගැනීමට ගල්ගමුව පලුකන්දෑව ප්‍රදේශයේ නිවෙසකට ගොස් වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගිරිබාව හා ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගල්ගමුව පොලිසියට භාර දීමට නියමිත බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරියෙක් කීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රංජිත් රාජපක්‍ෂ, පොලිස් පරීක්‍ෂක අජිත් ශාන්ත, සැරයන් ප්‍රේමසිරි (15054), පොලිස් කොස්තාපල් වරුන් වන ජයලාල් (428), රංගන (3664), පද්මසිරි (2921), තේනුවර (30847), සදීප් (74176), ප්‍රබුද්ධ (7781), බණ්ඩාර (15931), මහත්වරු වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon