මෙහෙම ගියොත් පාර්ලිමේන්තු ඡන්දෙත් කල් දමාවි

  👤  3424 readers have read this article !
By mawbima 2017-12-07

කමල් මහේන්ද්‍ර වීරරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීමේ පරම අයිතිය හා අභිමතානුසාරී බලය පැවරී ඇති එකම ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණය මේ මොහොතේ එම බලය ක්‍රියාත්මක නොකළහොත් පළාත් සභා මැතිවරණ කල් දැමූ...

ආකාරයෙන්ම මොකක් හෝ කසිකබල් පනතක් අස්සේ රිංගවා අණ පනත් සම්මත කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයද කල් දැමීමට මේ රජය ක්‍රියා කරනු ඇතැයි ජනාධිපති නීතිඥවරු කිහිපදෙනෙක්ම ඊයේ (06දා) ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේදී කියා සිටියහ.
ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා, එම්.ඒ.එම්. අලි සබ්රි හා සංජීව ජයවර්ධන ඇතුළු ජනාධිපති නීතිඥවරු පෙත්සම් 07ක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් එසේ කියා සිටියහ.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලය හමුවේ මෙම පෙත්සම් සියල්ල කැඳවා තිබිණි.
හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල, හිටපු මහඇමැති එස්.එම්. රංජිත් යන මහත්වරුන් ඇතුළු පෙත්සම්කරුවන් 07 දෙනකු විසින් මෙම පෙත්සම් ගොනු කොට තිබිණි.

එම සියලු පෙත්සම් මඟින් ප්‍රකාශ වූයේ ඉකුත් සැප්තැම්බර් මස 20 වැනි දින පාර්ලිමේන්තුවේදී සම්මත කර ගන්නා ලද පළාත් සභා මැතිවරණ සංශෝධන පනත එදින සම්මත කොට ගනු ලැබූයේ ව්‍යවස්ථා විරෝධීව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ටද පටහැනිව හා නීතිපතිවරයා විසින් දෙන ලද වැරැදි උපදෙස්ද අනුව බවය.
වැරැදි උපදෙස් දුන් බවට නීතිපති ජයන්ත ජයසූරිය හා වැරැදි ආකාරයෙන් පනත සම්මත වූ බවට සහතික කළ බවට කතානායක කරු ජයසූරිය මහතාත් ඇතැම් පෙත්සම්වලින් වගඋත්තරකරුවන් කොට ඇත.

එලෙස වැරැදි ආකාරයෙන් එම පනත සම්මත කර ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියෙන් ප්‍රකාශිතව සහතික කොට ඇති ජනතාවගේ "පරමාධිපත්‍ය බලය" පමණක් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 වැනි වගන්තියෙන් තහවුරු කොට ඇති ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ එකම හා පරම වගකීමත් අභිමතානුසාරී බලයත් හිමි එකම උත්තරීතර ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණයේ "පරමාධිකාරී බලයද" බරපතළ ලෙස අභියෝගයට ලක් කර ඇති බවද ජනාධිපති නීතිඥවරු සිය කරුණු දැක්වීමේදී සඳහන් කළහ.
පෙත්සම් 07න් පෙත්සම් 04ක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම එලෙස මනෝහර ද සිල්වා, ගාමිණී මාරපන, නවීන් මාරපන, අලි සබ්රි, ෂවීන්ද්‍ර ප්‍රනාන්දු, සංජීව ජයවර්ධන යන ජනාධිපති නීතිඥවරුන් විසින් සිදු කරනු ලැබීය.

පාර්ලිමේන්තුව යනු 'පරමාධිපත්‍ය බලය' හිමි ජනතාවගේ නියෝජිකත්වයක් වුවද 'ජනතා පරමාධිපත්‍ය' සුරක්ෂා කිරීමේ පරම අයිතියත්, අභිමතානුසාරී බලයත් හිමි එකම උත්තරීතර ආයතනය වන ශේ‍ර්ෂ්ඨාධිකරණය අභිභවා යෑමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභවා යෑමට බලයක් පාර්ලිමේන්තුවට ආරෝපණය නොවන බවද ජනාධිපති නීතිඥවරු පෙන්වා දුන්හ.

'ප්‍රේමචන්ද්‍ර එරෙහිව මොන්ටේගු ජයවික්‍රම' (1984-2 ඉඹ්අ) යන නඩු තීන්දුව ගෙනහැර දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන හා නවීන් මාරපන මහත්වරුන් පෙන්වා දුන්නේ නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමන් ප්‍රමුඛ පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මඟින් දී ඇති එම නඩු තීන්දුවෙන් එම කරුණු තහවුරු කොට ඇති බවය.
ශේ‍ර්ෂ්ඨාධිකරණයේ බලය පාර්ලිමේන්තුව ඉක්මවා සිටින බවත් පරමාධිපත්‍ය රැකීම සඳහා සිටින එකම උත්තරීතර ආයතනය ශේ‍ර්ෂ්ඨාධිකරණය පමණක්ම බවත් "රජයේ අත්‍යවශ්‍ය සේවා පනත" (ඡ්ඵඵඥදබඪචත ර්ථීභඡතඪජ ඉඥපමඪජඥඵ ඕඪතත) නමින් පාර්ලිමේන්තුව සම්මත කරන ලද එම පනත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් ප්‍රකාශිතව තහවුරු කොට ඇති කුරිරුකම්වලින් වැළකී සිටීමේ හා වධහිංසාවලින් ආරක්ෂා වී සිටීමේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් එම පනත ක්‍රියාත්මක කිරීම අත්හිටුවා එය බල ශූන්‍ය කරන ලද බවත් මාරපන මහතා පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම් මඟින් අභියෝගයට ලක් කරනු ලබන පනත සම්බන්ධයෙන්ද එලෙස ශේ‍ර්ෂ්ඨාධිකරණයට හිමි "අභිමතානුසාරී බලය" භාවිත කරමින් එයද 'ශූන්‍ය' හා 'බල රහිත' බවට ආඥාවක් නිකුත් කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ඉතිරි පෙත්සම් 03 ලබන සඳුදා (11දා) විභාගයට ගැනීමට දින නියම විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon