නීතිපතිගේ විරෝධය ඉවතට: අතුරු තහනම දිගටම

  👤  3456 readers have read this article !
By mawbima 2017-12-07

කමල් මහේන්ද්‍ර වීරරත්න

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් ඉකුත් 29දා නිකුත් කරන ලද අතුරු ආඥාව ඒකපාක්ෂිකව නිකුත් කොට ඇති වැරැදි නියෝගයක් බවට කරුණු දක්වමින් එය තවදුරටත් දීර්ඝ නොකරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීමක් ඉවත දැමූ අභියාචනාධිකරණය ඊළඟ නඩු දිනය තෙක් එම නියෝගය තවදුරටත් දීර්ඝ කළේය.

සභාපති විනිසුරු එල්.ටී.වී. දෙහිදෙණිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය ඉහත නිගමනය ක්‍රියාත්මක කළේය.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා විසින් කරන ලද ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය මේ මස 15 වැනි දිනට කල් තබමින් එදින දක්වා අතුරු ආඥාවද දීර්ඝ කරනු ලැබීය.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ එම්. ඒ. එම්. අල්සබ්රි යන මහත්වරු, නීතිඥ සුගත් කල්දේරා හා රුවන්ත කුරේ යන මහත්වරුන් සමඟ රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් නඩු දිනයේදී මෙම අතුරු ආඥාව පෙත්සම් පාර්ශ්වය විසින් ලබාගෙන ඇත්තේ විත්තිකාර පාර්ශ්වය මඟහරවමින් ඒක පාර්ශ්විකව කරුණු දැක්වීමෙන් බවය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊට සිය බලවත් විරෝධය පළ කරමින් එය සම්පූර්ණ වැරැදි ප්‍රකාශයක් බවත් වගඋත්තරකරුවන් හට නිකුත් කළ නොතීසි තමාට ඊට පෙරදින ලැබුණු බවත් ඒ අනුව අධිකරණය හමුවට පැමිණි බවත් එදින පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අධිකරණය හමුවේදී ප්‍රකාශ කළ බවත් කියා සිටියේය.

එම වාචකය අනුමත කරමින් එය පිළිගත් විනිසුරු මඬුල්ල රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඉල්ලීම පිළිගනිමින් පෙත්සම් විභාගය ලබන 15දා පැවැත්වීමටත් එදින දක්වා අතුරු ආඥාව දීර්ඝ කිරීමටත් නියම කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon